නීති විරෝධී පත්වීම් ගැන සාගලගෙන් නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය නිල නිවසින් ඉවත් කිරීමට නීති විරෝධී පත්වීම් ලැබූ පිරිසක් උත්සාහ දරන බවට හිටපු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ එම නිවේදනයයි.
නීති විරෝධී රජයක් යටතේ නීති විරෝධී පත් වීම් ලැබූ පිරිසක් විසින් මේ වන විට රටේ නිත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති අතර,අග්‍රාමාත්‍යවරයා සිය නිල නිවසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරමින් සිටිති.
කුමන්ත්‍රණකාරී සහ නීතිවිරෝධී රජයකින් දෙන සියලු පත්වීම් නීති විරෝධී බවත්, එකී නීති විරෝධී පත්වීම් ලබන්නන් ක්‍රියාත්මක කරන නියෝග වලට නීතිමය වලංගුතාවක් නැති බව අපි දිගින් දිගටම ප්‍රකාශ කළෙමු. එලෙස නීති විරෝධී නියෝග ලබා දී රටේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යන්ට සහ කර්ත්ව්‍යන්ට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව මේ අර්බුදය අවසන් වූ වහාම නීතිය ක්‍රියාත්මක කරන බවද අපි අවධාරණය කළෙමු.
රාජ්ය නිලධාරියෙකු රටේ නීතියටත්, ව්‍යවස්ථාවටත් ගරු කළ යුතු අතර හිතාමතාම එම නීතිමය රාමුව උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි. තවත් නොබෝ දිනකින්ම මෙම නීති විරෝධී ජාත්‍යන්තර පිළිගැනීමක් හෝ ජනබලයක් නැති, කුමන්ත්‍රණකාරී රජය රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුලදී පරාජයට පත්වීමට නියමිතය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය පමණක් නොව රටේ සියලුම දේශපාලන පක්ෂ මේ වනවිට පුළුල් එකඟත්වයකට පැමිණ සිටින බවත් මම මෙහිදී අවධාරණය කර සිටිමි.

සාගල රත්නායක පා.ම.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *