පනාමුරේ ඇත් ගාල අවසන් ගමනේ

ඓතිහාසික පනාමුරේ ඇත්ගාල කාලයක් තිස්සේ විනාශවී යෑමේ තර්ජනයකට ලක්වෙමින් පවතී.

ඇඹිලිපිටිය නගරයේ සිට කොළොන්න මාර්ගයේ කිලෝමීටර් 12ක් දුරින් පිහිටි ‘පනාමුර’ නගරයෙන් කිලෝමීටර් 2ක් නුදුරුව ‘පනාමුරේ ඇත්ගාල’ පිහිටා ඇත.
1951 වර්ෂයේදී ‘වලවේ ගඟ’ මිටියාවතේ වනාන්තරවල සිටින වන අලි ඇතුන් අල්ලා බැඳ ගැනීමට පනාමුරේ ඇත්ගාල ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායකවරයා වන ප්‍රැන්සිස් මොලමුරේ මහතාට අයත්ව තිබූ පනාමුරේ ඇත්ගාලට වන අලි ඇතුන් කොටුකර ගැනීමේ දිනවලදී එවකට ලංකාවේ සිටි තානාපතිවරු, ව්‍යාපාරිකයන්, සංගීතවේදීන් ඇතුළු ප්‍රභූන් පිරිසක් එය දැක බලා ගැනීමට සහභාගි වී සිටියහ.
ඇත්ගාලට කොටුවී සිටි අලි ඇතුන් අතර එක් ඇතෙක් ඇත්ගාල බිඳ දමන්නට දැඩි වෙහෙසක් දැරීය. ඒ වන විට කොටු වී සිටි අලි ඇතුන් නැවත පිටවීමට උත්සාහ දැරීම නිසා කෝපයෙන් ඇත්ගාල බිඳ දමමින් සිටි ඇතා වෙඩි තබා මරා දැමීමට කටයුතු කෙළේය. වෙඩි පහරට ලක්ව බිම ඇද වැටුණු හස්තියාගේ හිසෙන් රතු ලේ ධාරාවක් ගලාගෙන යද්දී නරඹන්නන් බොහෝ දෙනෙක් වැලපෙන්නට වූහ.

ඒ වන විට එහි සිටි සංගීතවේදී තුසිත මලලසේකර මහතා විසින් ලියා ගායනය කළ පනාමුරේ ඇත් රාජා ගීතය නිසා පසු කලෙක පනාමුරේ ඇත්රාජා සහ ඇත්ගාල ලංකා ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් බවට පත්විය.

දේශීය හා විදේශීය සංචාරකයෝ පනාමුරේ ඇත්ගාල දැක බලා ගැනීමට අදත් පැමිණෙමින් සිටිති. එහෙත් ඇත්ගාලට අයත් භූමිය ඇතැම් පිරිස් විසින් අල්ලාගෙන සිටීමෙන් දැනට ඉතා කුඩා බිම් කොටසක් ඉතිරිව පවතී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂිත ලෙස නම් කර ඇතත් මේ ස්ථානය රැක ගැනීමට මෙතෙක් පියවර ගෙන නැත.
ඓතිහාසික පනාමුරේ ඇත්ගාල මතුපරපුරට දැක ගැනීම සඳහා රැකගත යුතුව තිබේ.