පසුපසම එන ගැලවීමක් නැති කර්මය

බුද්ධ දේශනාවේ තියෙනවනේ, වසලයෙක් වෙන්නෙත්, බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් ක්‍රියාවෙන් කියලා. ක්‍රියාවෙන් තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙම නැතුව පොරවන වස්ත්‍රයෙන් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ. පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ක්‍රියාවෙන් ම විතරයි. ඒ වගේ ම දැනඋගත්කමින් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ. බලයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ නෑ. ධනයෙන් ශ්‍රේෂ්ඨ වෙන්නෙත් නෑ. ඒ වගේ ම ශ්‍රේෂ්ඨ වෙන්නේ සමාජ තත්ත්වයෙන්, නම්බුනාමයෙන් නෙවෙයි. තමන් කරන ක්‍රියාවෙන්. එතකොට ක්‍රියාවෙන් නම් ශ්‍රේෂ්ඨ වෙන්නේ හීන වෙන්නෙත් ක්‍රියාවෙන්. ඔය විදිහට ප්‍රේත ලෝකයේ, නිරයේ ඉපදුණු අය ඔක්කෝටම වැරදිලා තියෙන්නේ ක්‍රියාවෙන්.

එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයේ වැඩසිටිද්දී භික්‍ෂූන් වහන්සේලා දැකලා තියෙනවා පෙරේත කණ්ඩායමක් අහසින් යනවා. ඒ අය ශ්‍රමණ පෙරේතයෝ. මුළු ඇඟේ ම (වස්ත්‍ර, සිවුරු පාත්‍ර ඔක්කොම) ගිනි ජාලාවක්. මේගොල්ලෝ ගිනි ඇවිළි ඇවිළි කෑ ගහමින් යනවා. බුදුරජාණන් වහන්සේ ඒ අයගේ විස්තරය දේශනා කරනවා. ඒ අය කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ දුස්සීලව ජීවිත ගෙවපු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්. ඒ නිසා ඒගොල්ලන්ට පෙරේත ලෝකයේ ඉපදිලා දුක්විඳින්න සිද්ධ වෙලා. එතකොට අපට පැහැදිලියි, මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ක්‍රියාවකින්.

ඒක නිසයි බුදුරජාණන් වහන්සේ “වෛර කරන්න එපා..! ඊර්ෂ්‍යා කරන්න එපා..! අනුන්ට නින්දා කරන්න එපා..! අනුන්ගේ දියුණුව වළක්වන්න එපා..! අනුන්ගේ දියුණුවට වළ කපන්න එපා..!” කියලා අවවාද කරන්නේ. මොකද, අනුන්ට කපන ඒ වළවල්වලට කවදා හරි තමන්ට වැටෙන්න සිද්ධ වෙනවා. මේකෙන් බේරෙන්න තියෙන්නේ ම කුසලයේ පිහිටලා විතරයි. ප්‍රධාන වශයෙන් ම එයා පින් පව් විශ්වාස කරන්න ඕන. ඒ කියන්නේ පව් විශ්වාස කරන්නේ නැත්නම් එයාට ඒක කරන්න බෑ. ඒ කියන්නේ මේකෙන් බේරෙන්න නම් එයා ‘අනිවාර්යයෙන් ම පවේ පවිටු විපාක තියෙනවා… පිනේ සැප විපාක තියෙනවා…’ කියලා විශ්වාස කරන්න ම ඕන. වෙන බේරෙන්න ක්‍රමයක් නෑ. මොකද, පින් පව් විශ්වාස කරනවා නම් අයහපත් දේවල් කරන්නේ නෑනේ.

එක තැනක දිව්‍ය ලෝක ගැන සිද්ධියක් තියෙනවා. ඇය මනුස්ස ලෝකයේ දී විවාහ වූ කාන්තාවක්. මේ කාන්තාව මනුස්ස ලෝකයේ ඉන්නැද්දී ස්වාමියාට හරි කීකරුයි. නමුත් නැන්දම්මාගෙන්, මාමාගෙන් හරියට නින්දා අපහාස හිරිහැර ආවා. හැබැයි මේ කාන්තාව කවදාවත් නින්දා කරන්න, බණින්න, හිරිහැර කරන්න ගියේ නෑ. සියල්ල ඉවසාගෙන මෛත්‍රියෙන් වාසය කළා. ප්‍රතිඵලය ලෙස මරණින් මත්තේ දෙවියන් අතරේ උපන්නා. එතකොට අපට පේනවා, ඊර්ෂ්‍යා නොකිරීමෙන්, හිංසා නොකිරීමෙන්, එකට එක නොකිරීමෙන් තමයි ඇයට ඒ ඔක්කොම ලැබුණේ. ඒ නිසා මේකෙන් බේරෙන්න තියෙන්නේ ඒ ක්‍රමයට විතරයි.

කර්මය විපාක දෙන ස්වභාවය අපට හොයන්න බෑ…

අපි අංගුලිමාල ගැන ගත්තොත් අංගුලිමාල අසංඛ්‍යෙය කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනානේ. අංගුලිමාල මහරහතන් වහන්සේට මොන කර්ම විපාකයකින් ද මේක වුණේ කියන පෙර විස්තරය නෑ. හැබැයි යම්කිසි පතාගෙන ආපු එකක් තියෙන්න ඕන. මොකද, එයා ඉපදුණු දවසෙ ම ආයුධ ඔක්කොම දිලිසිලා ගියානේ. කොසොල් රජ්ජුරුවන්ගේ ආයුධ ගබඩාවේ ආයුධ දිලිසුණා. රජ්ජුරුවන්ගේ රාජකීය කඩුව පවා දිලිසුණා. ඊ ළඟට නිමිති බලද්දී මෙයා අනාගතයේ හොරෙක් වෙනවා කියලත් කිව්වා.

ඒ වගේ ම අපි පටාචාරා ගැන ගත්තොත්, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ විනයධර භික්‍ෂුණීන්ගෙන් අගතනතුරු ලබන්න පෙරුම් පුරාගෙන ආපු කෙනා, ඒ කියන්නේ විනයට පෙරුම් පුරාගෙන ආපු කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන එනකොට මොන විනයක් ද තිබුණේ? ඇඟේ නූල්පටක්වත් නැතුව පිස්සියක් වගේනේ ආවේ. ඉතින් ඒ නිසා අපට ඒකේ කර්ම විපාකය මොකක්ද කියලා හොයාගන්න බෑනේ. හැබැයි මේකෙන් එකක් පේනවා. ඒ තමයි කර්ම විපාකයෙන් නම් හැංගෙන්න බෑ. කර්මය විපාක දෙනවා ම යි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා “මහණෙනි, චේතනාව මුල්කරගෙන කරන්නා වූ කර්මය විපාක නො දී අවසන් වෙන්නේ නෑ” කියලා.

මේ නිසයි අපි කියන්නේ “චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න මහන්සි ගන්න. ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබන්න මහන්සි ගන්න” කියලා. ඊ ළඟට බුද්ධ දේශනාවේ හොඳ ලස්සනට පැහැදිලි වෙනවා, බුදුරජාණන් වහන්සේ දෙවියන් අතරට යන්න ගිහි අයව හරියට උනන්දු කරවලා තියෙනවා. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම, බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝයා සරණ යෑම, ඒ වගේ ම ස්ථූප වන්දනා කිරීම, මල් පහන් පූජා කිරීම, දානමාන දීම, ධර්මයට ගෞරව කිරීම මේ ආදි පින්කම් කරන්න කියලා තියෙන්නේ. ඒ පිනෙන් තමයි සුගතියට යන්නේ.

අපි මිනිසත්කමින් උපරිම ඵල නෙළනවා ද…?

අපි ගත්තොත්, අපි දැන් ඉන්නේ මනුස්ස ලෝකයේනේ. අපි මේ විදිහට මනුස්ස ලෝකයේ ඉන්නේ යම්කිසි පිනක් කරලා. එක්තරා අවස්ථාවක සඳහන් වෙනවා, මහාකාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් දෙන්න සක් දෙවිඳුයි, සුජා කියන දෙවඟනයි මිනිස් වෙස් අරගෙන මනුස්ස ලෝකයට ආවා. නමුත් බලන්න දැන් අපට නිරායාසයෙන් මිනිස් වෙස් තියෙනවා. නමුත් කෝ අපි ඒ විදිහට කර ගන්නවා?

නමුත් දෙවිවරු දානෙ දෙන්න මිනිස් ලෝකයට වෙස්වලාගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපට වෙස්වලා ගන්න දෙයක් නෑනේ. දැන් අපි මනුස්සයෝ වෙලානේ ඉන්නේ. නමුත් අපි බොහෝ වෙලාවට කරන්නේ මනුස්සයෝ වෙලා ඉන්නේ යම් පිනකින් ද ඒ පින වනසා ගන්න හේතුවෙන දේවල්. සිල්වතුන්ට අපහාස කරනවා… නින්දා කරනවා… සත්පුරුෂයන්ට ගරහනවා… යහපත දකින්නේ නෑ, යහපතට ගරහනවා… සමහර විට දන් දෙන්න හදන කොට ඒක වළක්වනවා… ඊ ළඟට අනුන් දෙන එකටත් බණිනවා. මේ විදිහට කටයුතු කිරීමෙන් පින වේගයෙන් පිරිහෙනවා.

ඊ ළඟට ජාති වශයෙන්, කුල වශයෙන්, ගෝත්‍ර වශයෙන් බෙදිලා එකාට එකා නින්දා අපහාස ගැරහිලි කර ගන්නවා. මේ ඔක්කෝගෙන් ම හානිවෙන්නේ තමන්ගේ පිනට. තමන්ගේ පිනට හානිවෙලා පින් නැති වුණාට පස්සේ එයාට ඉතින් යන්න තියෙන්නේ අර කියාපු තැන්වලට තමයි. ඒ කියන්නේ එක්කෝ නිරයේ… එක්කෝ ප්‍රේත ලෝකයේ… එක්කෝ තිරිසන් අපායේ…

සාමාන්‍යයෙන් තිරිසන් ලෝකය අපිත් එක්ක ම යි ඉන්නේ. ඒ වගේ ම ඉඳහිට හෝ පෙරේත ලෝකයේ විස්තරයත් අහන්න, දකින්න ලැබෙනවා. සමහර විට ඡායාරූප පවා අරන් තියෙනවානේ. නමුත් අපි දන්නවා ද ඒ විදිහට අපේ වටේ කවුරු කවුරු ඉන්නවා ද කියලා? අපි දන්නේ නෑනේ කාගෙ කවුද කියලා. බුද්ධ දේශනාවේ තියෙනවා “බැරිවෙලාවත් කෙනෙක් නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ වැටුණොත් ආයෙමත් මනුස්ස ලෝකයට එනවා කියන එක ලේසි නෑ” කියලා.

නැවත මනුස්ස ලෝකයට එන්න සත්තුන්ටත් අමාරුයි. පෙරේතයන්ටත් අමාරුයි. නිරි සතුන්ටත් අමාරුයි. හැබැයි දේශනාවේ තියෙනවා එහෙම ආවට පස්සේ එයා ආයෙමත් කරන්නේ අර පුරුදු වූ දේ කියලා. ඒ කියන්නේ නිරයේ ගිහිල්ලා උපදින්න, තිරිසන් ලෝකයේ ගිහිල්ලා උපදින්න පුරුදු වූ යමක් ඇද්ද ඒක කියනවා එයා ආපහු කරන්නේ. ඒක ම ආපහු කරලා ආයෙමත් එතැනට ම යනවා.

කර්මයෙන් බේරීමට උපකාර වන කරුණු පහක්…

ඒ නිසා අපට මේ ලෝක ස්වභාවය හිතාගන්න බෑ. ඒ කියන්නේ මේ සත්ව විෂය සිද්ධවෙන රටාව හිතාගන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘(කම්ම විපාකෝ භික්ඛවේ අචින්තෙය්‍යෝ න චින්තේතබ්බෝ) කර්මය විපාක දෙන ස්වභාවය අචින්ත්‍යයි’ කියලා. ඒ කිව්වේ කර්මය විපාක දෙන විදිහ අපට හිතලා ඉවර කරන්න බෑ. සමහර විට කර්මය විපාක දෙන විදිහ හරිම අද්භූතජනකයි. ඉතින් ඒ නිසා තමයි අපි ඒ කර්මයෙන් බේරෙන්න යහපත් මාර්ගය දියුණු කර ගත යුත්තේ.

බුද්ධ දේශනාවේ හරි පැහැදිලිව විස්තර කරලා තියෙනවා, මේකෙන් බේරෙන්න නම් කරුණු පහක් ඇතිකර ගන්න කියලා. ඒ තමයි ශ්‍රද්ධාව, සීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව. ශ්‍රද්ධා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තමන්ගේ සිතේ තියෙන විශ්වාසය.

‘උන්වහන්සේගේ අවබෝධය හරි… ඒ අවබෝධය නිවැරදියි… නිරවුල්…’ කියලා ඇතිකර ගන්න පැහැදීම. එහෙම නිවැරදි වූ එකක් අපට සංස්කරණය කරන්න දෙයක් නෑනේ. ඒක තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැත්නම් කරන්නේ ධර්මය නූතන සමාජයට ගළපනවා. නමුත් ශ්‍රද්ධාව තිබුණා නම් එහෙම කරන්නේ නෑ. ශ්‍රද්ධාව තිබුණා නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ වදාළ විදිහට ම කරනවා.

අපි ගත්තොත් ‘නමෝ බුද්ධාය!’ කියන වචනය ගනිමු. මේ ‘නමෝ බුද්ධාය’ කියන වචනයෙන් කියන්නේ ‘බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා..!’ කියලනේ. අපි මේක නැවතත් මහමෙව්නාවෙන් ඉදිරිපත් කිරීම නිසා මිනිස්සු ආයෙමත් ‘නමෝ බුද්ධාය..!’ කියලා කියන්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඒ විදිහට ‘නමෝ බුද්ධාය’ කියලා මතක් කළා ම හැම තිස්සේ ම එයාට බුද්ධානුස්සතිය වැඩෙනවානේ. එතකොට ඒක ශ්‍රද්ධාවේ කොටසක්. නමුත් ශ්‍රද්ධාව නැති කෙනාට මේක දිරවන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව තියෙන කෙනාට මේක අයිති එකක්. ඊ ළඟට ‘සීල’ කියලා කියන්නේ කාය, වචී සංවරය. ඒ කියන්නේ එයා කය, වචනය සංවර කරගෙන වාසය කරනවා. ඊ ළඟට ශ්‍රැත. ඒ කියන්නේ දහම් දැනුම.

දෙදරා ගිය පවුල් ජීවිතවල කතාව…

සමහර අය ඉන්නවා, එයාට පිනක් උදෙසා තමන්ට මනුස්ස ජීවිතයක් ලැබුණා. නමුත් එයා හිතනවා තව කෙනෙකුට සතුටක් ලබාදෙන්න තමන්ගේ ශරීරය යෙදෙව්වොත් ඒකෙන් එයාට පිනක් තියෙයි ද කියලා. එහෙම හිතාගෙන ඉන්න අය ඉන්නවා. නමුත් එහෙම එකක් නෑ.

විමාන වත්ථුවක හොඳ සිද්ධියක් තියෙනවා. එක කාන්තාවක් හොඳින් සීලවන්ත ව ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙනකොට සල්ලාලයෝ කොටසක් මේකට ඔට්ටුවක් අල්ලනවා. ඒ තමයි එක සල්ලාලයෙක් කියනවා “බලාපල්ලා.. මං ඔය කාන්තාව මගේ වසඟයට ගන්නවා…” කියලා. ඉතින් අනිත් සල්ලාලයෝ “කහවණු දාහක් ඔට්ටුයි… උඹට මේක කරන්න බෑ!” කියනවා. ඉතින් කොහොම හරි ඒ සල්ලාලයා අර ගෑනු කෙනා ව වසඟයට ගන්නවා. අරගෙන ඒ ගෑනු කෙනාත් සමඟ අයථා විදිහට ජීවත් වෙනවා. ජීවත් වෙලා ඔට්ටුවෙන් දිනුවා.

එතකොට කලින් එයා හොඳින් පින් දහම් කරගෙන හිටපු කෙනෙක්. නමුත් පස්සේ සල්ලාලයෙකුට අහු වුණා. ඊට පස්සේ මේක මෙයාගේ ස්වාමියාට අහු වුණා. ස්වාමියා මෙයාගෙන් අහනවා “හැබෑ ද උඹ මෙහෙම කළා ද?” එහෙම අහන කොට මේ බිරිඳ කියනවා “අනේ මම නම් කළේ නෑ. එහෙම කළා නම් උපනූපන් ආත්මවල මාව බල්ලෝ හපන්න ඕන” කියලා. ඉතින් මෙයා මැරිලා ගිහිල්ලා විමාන ප්‍රේතියක් වෙලා උපදිනවා. ඔන්න දවල් කාලයේ දිව්‍ය සැප වගේ ලස්සනට ඉන්නවා. මොකද, පිනුත් කළානේ. රෑ වුණා ම මෙයා පොකුණකට බහිනවා. බහිනකොට ම දඩයම් බල්ලෝ ඇවිල්ලා මෙයාව කීතු වෙන්න කාලා කාලා ඇටසැකිල්ලක් කරලා දානවා. උදේට ආයෙමත් ඇහැරිලා විමානයට එනවා. බලන්න, කර්ම විපාකය සකස් වූ හැටි!

ඒ නිසා කවුරු තෘප්තිමත් කරන්න කළත් ඒ දේවල් කර්මානුරූප ව අරගෙන යන්න වෙනවා. කර්මානුරූප ව යන්න තියෙන කොට කර්මානුරූපව තමයි විඳින්න තියෙන්නෙත්. එතකොට එයාට උපනූපන් ආත්මවල දී කර්මානුරූප ව ගෙවන්න තියෙන්නේ. ඒ නිසා බොහෝ අවස්ථාවල දී තුන්වෙනි සිල්පදයට හානි කර ගත්තු අයගේ පවුල් ජීවිත උපනූපන් ආත්මවල අසාර්ථක වෙනවා. ඒ කියන්නේ ස්වාමියාගෙන් බිරිඳට ආදරය ලැබෙන්නේ නෑ. බිරිඳගෙන් ස්වාමියාට ආදරය ලැබෙන්නේ නෑ. ආදරය කියන එක එයාට හම්බවෙන්නේ නෑ. ඒ කියන්නේ එයා විවාහ වුණාට ආදරය හම්බවෙන්නේ නෑ.

අපි කියමු වැරැද්ද කරලා තියෙන්නේ ස්වාමියා කියලා. එතකොට එයාට බිරිඳගෙන් ආදරය හම්බවෙන්නේ නෑ. ඒ නිසා එයා විඳවනවා. ආදරය නෑ. කර්මානුරූප ව තුන්වන සිල්පදය කඩාගත්තු අය බැරිවෙලාවත් මනුස්ස ලෝකයට ආවොත් ඒ විදිහට විඳවන්න වෙනවා. සමහර විට අවුරුදු ගණන් ආදරය කරලා විවාහ වෙනවා. ඒ වුණාට වැඩක් නෑ. ටික දවසකින් සතුරෝ වගේ ඉන්නේ. තරහකාරයෝ වගේ එකට ජීවත්වෙන්නේ. ඒගොල්ලන්ට කවදාවත් ආදරය විඳින්න හම්බවෙන්නේ නෑ. ඒකට හේතුව සසරේ දුස්සීල වීමයි.

නමුත් දැන් ඔය මාධ්‍යවලින් කියන හැටියට හැමෝටම ආදරය කියන එක ලබන්න බෑ. ඒක ඒ විදිහට වෙන්නේ මේ නිසයි. ඒ කාරණය සිද්ධ වෙන්නේ අකුසල විපාකයකින්. සමහර විට ප්‍රේත ලෝකයේ ගියාම, නිරයේ ගියාම අවුරුදු දහස් ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ චේතනාත්මක ව යමක් කළා ද ඒක විපාක දෙනවා. ඒක විපාක දෙන්නේ නෑ කියලා හිතීම මිථ්‍යා දෘෂ්ටියක්. මිථ්‍යා දෘෂ්ටියක් වුණා ම ඒකේ විපාකය බරපතළ වැඩියි.

හැම එළියක් ම දේවතා එළි නෙවෙයි…

දේවතා එළි ගැන කතා කිරීමේ දී හැම එකකට ම දේවතා එළි කියලා කියාගෙන යන එක නම් විහිළුවක්. සෝමාවතියේ තමයි දැනට මේ එළි විහිදෙන්නේ. කිරි වෙහෙරෙත් තියෙනවා. ඉස්සර සේරුවාවිලත් තිබිලා තියෙනවා. මම හිතන්නේ ධාතූන් වහන්සේලා වඳින්න එන දේවතාවුන් වහන්සේලාගේ එළි තමයි ඒ තියෙන්නේ. කාලිංග මාඝ සිද්ධස්ථාන ඔක්කොම ආක්‍රමණය කරලා විනාශ කරද්දී ඔය ඔක්කොම ආරක්‍ෂා කළේ මිනිස්සු නෙවෙයි, මේ ඔක්කොම ආරක්‍ෂා කළේ දෙවිවරු. අදටත් ඒවා ආරක්‍ෂා කරන්න දෙවිවරු සෑහෙන්න දුරට මැදිහත් වෙලා ඉන්නවා.

ඒ වගේ ම බුදුරැස් විහිදෙන එක ගැන ගත්තොත්, සෝමාවතියෙන් වගේ බුදුරැස් විහිදෙන්න පුළුවන්. ඒ කියන්නේ එහි තිබෙන්නේ ධාතූන් වහන්සේලාගේ බුද්ධානුභාවය යි. අපි නුවර වන්දනා කරන දළදා වහන්සේගේ ඉතිහාසයේ සඳහන් වෙනවා, කලිඟු රටේ රජ්ජුරුවෝ මේ දළදා වහන්සේ කම්මලේ යකඩ තලන කිණිහිරේ දාලා තලන්න සූදානම් වෙලා තියෙනවා. නමුත් ඒ විදිහට තලද්දී කිණිහිර යටට එබිලා. ඊට පස්සේ රජ්ජුරුවෝ භය වෙලා. මොකද, ඇට කැබැල්ලක් කියලනේ අපහාස කළේ. නමුත් යකඩය ගිලාබැස්සාම රජ්ජුරුවෝ මේකට වන්දනා කළා. ඊට පස්සේ දළදා වහන්සේ අහසට පැනනැගිලා රැස් විහිදිලා තියෙනවා.

ඉතින් මේ නිසා ධාතූන් වහන්සේලාගෙන් රැස් විහිදීම කියන එක වෙන්න පුළුවන්. ඒ වගේ ම ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙනුත් රැස් විහිදිලා තියෙනවා. බුදුරැස් විහිදෙනවා… ඒක සත්‍යයක්. ඒක විද්‍යාවට ගළපන්න ගියොත් තමයි අපි අමාරුවේ වැටෙන්නේ. ඊ ළඟට සමහර අය ඊර්ෂ්‍යා සහගතවත් කියනවානේ “ඕවා වෙන්නේ නෑ..! ඔය බොරු” කියලා.

මට මතකයි අපි සෝමාවතියේ පින්කම කරන අවස්ථාවෙ දී හරියට සෝමාවතී මහසෑයට අපහාස කළානේ. හිස් පැවිද්දොත් ඒක කළා. “කොහෙද බුදුරැස් විහිදෙන්නේ?” කියලා මහසෑයට අපහාස කළා. නමුත් සෝමාවතියෙන් බුදුරැස් විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් විහිදෙන්නේ නැත්නම් කාගෙන් විහිදෙන්න ද?

සෝමාවතී චෛත්‍යයේ එක ඡායාරූපයක මම දැක්කා, පිරිසක් ඇවිල්ලා වන්දනා කරද්දී පොඩි ළමයෙක් පස්සට පනිනවා. පනින කොට තාත්තා ෆොටෝ එකක් ගන්නවා. මට මතක හැටියට ඒකෙ තියෙන්නේ පුංචි ඇත් පැටියෙක් ඒ අයිනෙන් දුවනවා. මේ ළමයා ඒක දැක්කා. ඒ වගේ ම ඒක පින්තූරයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙ තේරුම තමයි දිව්‍ය ලෝකයෙත් තිරිසන් සත්තු වගේ එක එක සතුන් ඉන්න බව පේනවා. දිව්‍ය ලෝකයේ අශ්වයෝ, අලි, කුරුල්ලෝ ඒ වගේ සත්තු ඉන්න බව පේනවා.

ඒ වගේ ම එක එක සත්තු කර්මානුරූප ව පෙරේත ලෝකයෙත් ඉන්නවා. එක තැනක සඳහන් වෙනවා, ප්‍රේත ලෝකයේ ලොකු කොක්කු වගේ හොටවල් තියෙන සත්තු ඇවිල්ලා පෙරේතයන්ට කොට කොට ඔවුන්ගේ මස් කනවා කියලා. පෙරේත ලෝකයෙත් තිරිසන් සත්තු ඉන්නවා. මනුස්ස ලෝකයෙත් තිරිසන් සත්තු ඉන්නවානේ. දිව්‍ය ලෝකයෙත් තිරිසන් සත්තු ඉන්නවා.

ඒ වගේ ම අපේ එක කැලණි පූජාවක දී ලොකු හංසයෙක් පින්තූරයකට වැටිලා තිබ්බා. ඒකේ ඒ කුරුල්ලා හරි පැහැදිලියි. එළිය තියෙන පාට කුරුල්ලෙක්. ඒ වගේ තියෙනවා. ඒ වගේ අවස්ථාවල දී ඒ දෙවිවරු කියලා තේරුම් ගන්න පුළුවන්. එක අවස්ථාවක මම ඉන්දියාවේ දී මළමිනී දවන තැනක පින්තූරයක් ගත්තා. ඒකෙත් එළි පිරිලා. දහස් ගාණක් එළි තියෙනවා. එතකොට අපට හිතාගත හැකියි, භූතයොත් එහෙම වැටෙන්න පුළුවන්. මොකද, එවැනි තැන්වලට දෙවිවරු කිට්ටු වෙන්නේ නෑනේ. භූතයෝ ඉන්න තැනට දෙවිවරු එන්නේ නෑ. අපි ගත්තොත් හිඟන්නෝ ගොඩට අපි යන්නේ නෑනේ. හිඟන්නෝ ගොඩට යන්නේ හිඟන්නෝ විතරනේ. ඒ වගේ එකක් තමයි මෙතැන තියෙන්නෙත්.

ඉතින් මේ නිසා දෙවිවරු ගොඩක් චෛත්‍ය වඳින්න එනවා. ශ්‍රද්ධාවෙන් වඳින අයට දෙවිවරු හරි සතුටුයි. ඒවා දැකබලා සතුටු වෙන්න එනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අපේ කුණ්ඩසාලේ චෛත්‍යයෙත් ඒ වගේ එළි තිබුණා. රුවන්වැලි මහසෑයටත් ඒ වගේ ලොකු එළි ඇවිල්ලා තිබුණා. ඒවා හරි පැහැදිලියි. මම නම් ඒ ගැන තේරුම් අරන් ඉන්නේ ඒ එළි ධාතූන් වහන්සේලා වඳින්න එන දෙවිවරු, බ්‍රහ්මයෝ කියලයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22