පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත් කිරීමේ කතාව බොරුවක්

පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත් කරන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික අධ්‍යාපන ආයතනය අවධාරණය කරනවා. මේ ඒ සම්බන්ධයෙන් ජාතික අධයාපන ආයතනය නිකුත් කළ නිවේදනයයි.

 “විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවතට” යන මැයෙන් 2017.12.10 වන ඉරිදා දිවයින පුවත්පත පුවත් වාර්තාවක් පළ කොට තිබුණි. ප්‍රකට මහාචාර්යවරයකු පැවසූ බව සහන් කරමින් පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ඉතිහාස විෂය නොමැති හෙයින් මෙරට ඉතිහාසය ද ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇතැයි එහි වාර්තා කර තිබුණි.

එම වාර්තාකරණයෙන් නොනැවතී ඉහත ප්‍රවෘත්තිය ම පාදක කර ගනිමින් 2017.12.17 දින ඉරිදා දිවයින පුවත්පත මගින් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල හිමියන්ගේ ප්‍රකාශයක් බවට උපුටා දක්වමින් “ඊනියා මහාචාර්යවරුන්ගේ උපදෙස් අනුව පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත් කිරීම පැරණිම සිංහල ජනයාගේ ප්‍රෞඪ ඉතිහාසය අකාමකා දැමීමේ කූඨ උපක්‍රමයක්” යන මැයෙන් වාර්තාවක් පළ කර තිබුණි. ව්‍යාජ තොරතුරු මත පදනම් ව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල හිමියන් විසින් සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව කණගාටුව පළ කරමි. 

එමෙන් ම “ඉතිහාසය කපාහැරීම රට ජාතියේ ගෙල සිඳ දැමීමකි” යන මැයෙන් ලිපියක් ද දිවයින පුවත්පතේ පසුගිය (17) ඉරිදා පළ කොට තිබුණි. ඉතිහාසය විෂයය කප්පාදුවකට ලක්කිරීම හෝ ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති මොහොතක ජනතාවට සංවේදී කරුණු විකෘති කරමින් ඉදිරිපත් කිරීම නොකළ යුත්තකි. 

විෂයමාලා සකස් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමක් වන අතර, ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපනඥයින්ගේ සක්‍රීය දායකත්වය ලබාගනිමින් පර්යේෂණාත්මක තොරතුරු පදනම් කරගෙන වසර අටකට වරක් විෂය මාලා නවීකරණය හෝ සංශෝධනය කරන බව දඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අවධාරණය කරමි.

ආචාර්ය ටී.ඒ.ආර්.ජේ. ගුණසේකර

අධ්‍යක්ෂ ජනරාල්

ජාතික අධ්‍යාපන ආයතනය


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *