පෙර ආත්මයේ රිය අනතුරක් හෙළි කළ දරුවෙක්


මරණින් පසු නැවත ඉපදීම; පුනර්භවය එසේත් නැතිනම් පුනරුප්පත්තිය නම් වේ. අපි සියලූ දෙනාම කුඩා කල සිට පුනරුප්පත්තිය පිළිබඳ කතා අනන්තවත් අසා ඇත්තෙමු. මෙය බටහිර ජාතීන් විසින් ද පිළිගත් මනෝවිද්‍යාත්මක සංකල්පයකි.

1985 දී උපන් ප‍්‍රතිභ ගුණවර්ධන බහ තෝරන වියේ සිටම තම මවට හා පියාට මහනුවර යෑමට ඇවැසි බව කියමින් ඇවිටිලි කරන්නට වූයේ තම පෙරභවයේ මතකයන් ද මවට හා පියාට හෙළිදරව් කරමිනි.

deadතම පෙරභවය පිළිබඳව තොරතුරු පවසන මේ කුඩා දරුවා, අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙන්ඩ්‍රෝ හැරල්ඞ්සන් (Elendur Haraldsson) මහතාට හා ඔහුගේ භාෂණ පරිවර්තකවන ගොඞ්වින් සමරරත්නහට මුණ ගැසෙන්නේ 1989 වර්ෂයේ අග භාගයේ දීය. එවිට ප‍්‍රතිභගේ වයස අවුරුදු සතරකි. කුඩා ප‍්‍රතිභ ප‍්‍රථමයෙන් මහාචාර්යවරයා මුණ ගැසීමට පැමිණෙන්නේ සිය මව සමගිනි. ප‍්‍රතිභගේ මවත් මෙවැනි අවස්ථාවන්ට මුහුණදෙන අන් සියලූ මවුවරුන් සේම මෙම පෙරභවයේ තොරතුරු කීම හේතුවෙන් තම පුතු තමාට අහිමි වේ යැයි සිතා අනියත බියකින් පෙළෙමින් සිටියා ය.

dead1

නමුත් කෙසේ හෝ ප‍්‍රතිභගේ මව ද මහාචාර්යවරයාගේ පර්යේෂණයන්ට සහය දක්වමින් ඇය සතු අත්දැකීම් ද හෙළි කරන්නට විය. ඇය පැවසුවේ තම කුඩා පුතු මුලින්ම පෙරභවය පිළිබඳ පවසා සිටියේ ඔහු සති කිහිපයක් දරුණු උණ රෝගයකින් පෙළෙමින් සිටින අවස්ථාවක දී බවය. එවිට දෙහැවිරිදි වියේ සිටි ප‍්‍රතිභ එදින සිට ඔහුගේ පෙරභවය පිළිබඳව කරණු ඉදිරිපත් කරන බව ද ඇය පවසා සිටියාය.

මහාචාර්ය හැරල්ඞ්සන් මහතා, ප‍්‍රතිභ සමග සාකච්ඡා කරනවිට තම පෙරභවය පිළිබඳව ඔහු පැවසුවේ මේ අයුරිනි, මගේ නම ශාන්ත මීගහතැන්න, අක්කගේ නම සීතා, අයියා සමන්ත. මගේ ගම මහනුවර, මට එයාලව බලන්න යන්න ඕනි.’’ යනුවෙන් මහාචාර්ය හැරල්ඞ්සන් මහතා හා සමරරත්න මහතා ඉදිරියේ දී ප‍්‍රතිභ පැවසුවේ ඉතා පැහැදිලිව හා කිසිදු ලැජ්ජාශීලි බවකින් තොරවය. එහිදී ඔහුගේ දෙමාපියන් ද හෙළි කළේ කුඩා ප‍්‍රතිභහට සිද්ධීන්ට වඩා පෙරභවයේ නාමයන් මතකයේ රැඳී ඇති බවය.

තවදුරටත් ප‍්‍රතිභ පැවසුවේ, ‘‘මගේ කාර් එක ගිනි ගත්තා, එතකොට මගේ අතපය කට එහෙම පිච්චුණා. මාව ඉස්පිරිතාලෙ ගෙනිච්චාට පස්සේ තමා මං මෙතෙනට ආවේ.’’ මෙහිදී කුඩා ප‍්‍රතිභ තමාට සිදු වූ අනතුර විස්තර කරමින් ‘මෙතෙනට ආවේ’ යනුවෙන් පැවසුවේ මියගොස් නැවත ඉපදීම බව මහාචාර්ය හැරල්ඞ්සන් මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු ජීවත් ව සිටියේ අංක 28, පිලගොඩ පාරේ බවත්, පෙරභවයේ ව්‍යාපාරිකයකු වූ බවත්, වැඩිදුර සාකච්ඡාවේ දී හැරල්ඞ්සන් මහතා හෙළි කර ගත්තේ ය.

‘‘මම ඉස්කෝලේත් ගියා, ඉන්දියාවෙත් ගිහින් තියෙනවා. අපිට කාර් එහෙකුයි බස් එහෙකුයි තිබ්බා.’’ යනුවෙන් පවසමින් ප‍්‍රතිභ දිගින දිගටම පෙරභවයේ තොරතුරු මහාචාර්ය හැරල්ඞ්සන් මහතා සමග බෙදා ගන්නට විය.

dead2 අනුව ප‍්‍රතිභ හෙළි කරන ලද පෙරභවයේ තොරතුරු ඔස්සේ යමින් මහාචාර්ය හැරල්ඞ්සන් මහතා රිය අනතුරකින් පිළිස්සී මිය ගිය මහනුවර ප‍්‍රදේශයේ ශාන්ත මීගහතැන්න නම් පුද්ගලයකු පිළිබඳව තොරතුරු ගවේෂණය කරන්නට විය. ඔහු පිළිබඳව මහනුවර මූලික රෝහලෙන් ද නිවැරැදි තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූයේ එම රෝහලට වසරකට රෝගීන් දහසක් පමණ විවිධ හේතූන් මත ඇතුළත් කරන නිසාවෙනි.

ඉන්පසුව මහාචාර්ය හැරල්ඞ්සන් මහතා ප‍්‍රතිභ සඳහන් කළ පිලගොඩ නම් මාර්ගය පිළිබඳව සොයා බැලූව ද ඒ හා සම්බන්ධ තොරතුරක් සොයා ගැනීමට ද එතුමා අපොහොසත් විය. අවසානයේ දී ඔහු සොයා බැලූවේ මීගහතැන්න නම් මහනුවරට කිලෝමීටර් 14ක් දුරින් ඇති ප‍්‍රදේශයේ හෝ පිලගොඩ නම් මාර්ගයක් තිබේ ද යන්න ය. නමුත් ඔහුට ඒනමින් මාර්ගයක් හෝ මීගහතැන්න නම් වාසගම ඇති පවුලක් පිළිබඳව හෝ තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.

මේ හේතුවෙන් හැරල්ඞ්සන් මහතා තීරණය කළේ අවසාන උත්සහය ලෙස ප‍්‍රතිභව මහනුවර ප‍්‍රදේශයට කඳවා ගෙන යෑමටය. මහාචාර්ය හැරල්ඞ්සන් මහතා කළ ඉල්ලීම හේතුවෙන් ප‍්‍රතිභව මහනුවරට රැගෙන යෑමට ඔහුගේ දෙමාපියන්ගෙන් අවසර ලැබුණි. පැය තුනක් පමණ වූ එම ගමන අතරමඟදී හමු වූ ගංගාව මහවැලි ගඟ ලෙස හඳුනා ගැනීමට ප‍්‍රතිභහට හැකි විය. තවද ඉතා කාර්යබහුල වූ නගරයක් පසුකර යෑමේ දී එය මහනුවර සේ නිවැරදි ව ප‍්‍රතිභ හඳුනා ගත්තේ ය.

නමුත් ප‍්‍රතිභ පෙරභවයේ ජීවත් වූ ප‍්‍රදේශය සොයා ගිය ගමනේ දී ඔහුට හඳුනා ගත හැකි වූයේ මහනුවර ප‍්‍රදේශය හා මහවැලි ගඟ පමණක් වීම සුවිශේෂ කරුණකි. මේ අයුරින් රිය අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා මිය ගිය ශාන්ත මීගහතැන්න නම් පුද්ගලයකු පිළිබඳ තොරතුරු සොයා ගැනීමට මහාචාර්ය හැරල්ඞ්සන් මහතාහට නොහැකි විය. එම නිසා ප‍්‍රතිභගේ දෙමාපිය අවසරය ඇතිව සිංහල පුවත්පතකට හා ඉංග‍්‍රීසි පුවත්පතකට මෙම සිදුවීම පළකොට හඳුනා ගැනීමට ආධාර පතා ලිපියක් පළ කළ ද එයට ද නිසි පිළිතුරක් නොලැබිණි.

අවසානයේ දී ප‍්‍රතිභ පැවසූ පෙරභවයේ සිදුවීම් හා ගැළපෙන පුද්ගලයකු සොයා ගැනීමට නොහැකි වූ නිසා මෙම සිදුවීමෙහි නිරවද්‍යතාව සොයා ගැනීමට මහාචාර්ය හැරල්ඞ්සන් මහතාට නොහැකි වූවා සේම කුඩා ප‍්‍රතිභහට ද තම පෙරභවයේ සහෝදර සහෝදරියන් නැවත දැක බලා ගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගියේ ය.

රන්මලී විජයරත්න –  – Divaina


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.