You are here
Home > ආසන්න-පුවත් > පොහොර ප්‍රශ්නයට සජිත් – දුමින්ද කැබිනෙට්ටුවේදී උණුසුම් සංවාදයක

පොහොර ප්‍රශ්නයට සජිත් – දුමින්ද කැබිනෙට්ටුවේදී උණුසුම් සංවාදයක

මෛත්‍රී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණීමට පෙර ජනාධිපති ‍ලේකම්වරයා ‍ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය සමග අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කළේය. වැඩ ආරම්භ කර ටික වේලාවකින් මෛත්‍රී ‍ලේකම් කාර්යාලයට පැමිණියේය.  මෛත්‍රීට සුබ පැතීමට ‍ලේකම් කාර්යාලයේ නිලධාරීන් ආ විට ඔවුන් සියලු දෙනාටම මෛත්‍රී තෑග්ගක් දුන්නේය. ඒ අඹ පැළය බැගිනි. මේවා අරගෙන ගිහින් විකුණගන්නවා එහෙම නමෛයි. මේ පැළ ගෙවල්වල හිටවලා හොඳට සාත්තු කරන්න ඕන. මම ගෙවල්වලට ඇවිත් මේවා හරියට හදනවාද කියලා හොයලා බලනවා” අඹ පැළ බෙදා දෙමින් මෛත්‍රි කීවේ සිනාසෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුද මෛත්‍රීට සුබ පැතීමට ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණියහ. ඔවුන් සමගත් සුහදව කතා බස් කරමින් සිටි මෛත්‍රී කැබිනට් රැස්වීම ආරම්භ කිරීමට පිටත්ව ගියේය.
මේ සතියේ කැබිනට් රැස්වීම උණුසුම් වූයේ ‍පොහොර ප්‍රශ්නය නිසාය. ‍පොහොර ප්‍රශ්නය පසුගිය සති දෙකේදීම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබුණි. මෙවර එය සාකච්ඡා කළේ අඛණ්ඩව තුන්වැනි සතියටය.
“කන්න තුනක් වගා නොකරපු ගොවීන් ඉන්නවා. ඒ අයට නොමි‍ලේ ‍පෝර දෙන්න ඕන”අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ආවේය. ඒ අතරම මොරගහකන්ද ජලාශයේ පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය ජලය රැස් කර තැබිම නිසා ජලය නොමැතිව ගොවිතැන් කිරීමට නොහැකිවූ ගොවීන්ට රුපියල් දස දහසක වන්දි මුදලක් ලබාදීමට අදාළ යෝජනාවද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය.
“නියඟය නිසා ගොවීන්ට විශාල හානියක් වුණා. ඒ නිසා ඔවුන්ට දැනට ලබාදෙන සලාක මල්ලට අමතර නොමි‍ලේ ‍පොහොර ලබාදෙන්න ඕන”ඇමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළේය.
“නොමි‍ලේ ‍පොහොර දෙන්න බෑ. දැනටමත් ‍පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදෙනවා. ඒ නිසා අලුතින් දැන් නොමි‍ලේ ‍පොහොර ලබාදීමට හැකියාවක් නෑ” මංගල සමරවීර ඇමැතිවරයා නොමි‍ලේ ‍පොහොර ලබාදීමේ යෝජනාවට සිය විරෝධය දැක්වූවේය.
මේ අතර ‍පොහොර හිඟය පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවිය
“‍පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයට පැවරීම නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. දැන් ‍පොහොර ගෙන්වීම රජයෙන් අයින් කරලා. රජයත් ‍පොහොර දිගටම ගෙන්වූවා නම් මේ වගේ ‍පොහොර හිඟයක් ඇතිවෙන්නේ නෑ. කොහොම නමුත් දැන් මේ හිඟයට විසඳුම් විදියට පුද්ගලික අංශයෙන් ‍පොහොර මෙට්්‍රක් ටොන් හතළිස් දහසක් ගෙන්වනවා. රජයත් මෙට්්‍රක් ටොන් තිස් පන්දහසක් ගෙන්වනවා”දුමින්ද ‍පොහොර හිඟයට හේතු දැක්වූවේය.
“මේක ඡන්දයක් තියෙන වෙලාව. ‍පොහොර හිඟයක් තියාගෙන අපිට ගමට යන්න බෑ. ඒ නිසා ඉක්මනට මේකට විසඳුමක් ඕන කරනවා”සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීවේය.
“ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට දැනටමත් මැදිහත්වෙලා ඉන්නේ. පාකිස්තානයේ අගමැතිතුමා එක්ක කතා කරලා ‍පොහොර ගෙන්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා”දුමින්ද කීවේය.
“මේ ගෙන්වන ‍පොහොර රුපියල් තුන්සිය පනහට දෙන්න ඕන”සජිත් යෝජනා කළේය.
“කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන්න ඕන. හැකි ඉක්මනින් ‍පොහොර ගෙන්වලා ගොවීන්ට අවශ්‍ය ‍පොහොර ලබාදෙන්න ඕන”මෛත්‍රී, සජිත් සහ දුමින්ද අතර ඇතිවූ වාග් සංග්‍රාමයට තිත තැබුවේය.
Top