බදුල්ල නායයාමේ දැඩි අවධානමක් /සමන්ත විද්‍යාරත්න

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් හටගත් අවධානම් තත්ත්වය මුල් කර ගනිමින් , පවතින වර්ෂාව සමග බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාමේ අවධානම වර්ධනයවී ඇතැයි පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කරන්නේ අවධානම් තත්ත්වයෙන් ජනතාව ගලවා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කරන ලෙසයි.මේ ඊට අදාළව ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයයි.

අධිකවැසි සමඟ නායයාම් අවදානම වැඩීවීම පිළිබඳවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 66.9% ක් නායයාමේ අවදානමෙ තිබෙන බව 2015 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ වාර්තාවකින් එලිදරව් කරනු ලැබීය. නායයාම් අවදානම් බව වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු අතරට මිනිස් ක්‍රියාකාරකම් පළමුතැන ගනී. අප දිස්ත්‍රික්කයේ නායයාම් අවදානම උග්‍ර කිරීමට ඉවහල්වන ප්‍රධාන සාධකය රජයේ ක්‍රියාමාර්ග ලෙස නම් කිරීමට කැමැත්තෙමි.නිසි පාරිසරික අධ්‍යයනයකින් තොරව දේශපාලන උවමනාවන් මත හා මූල්‍ය වාසි තකා සිදුකරනු ලබන උමාඔය ව්‍යාපෘතිය, මංමාවත් හා ගොඩනැගිලි ඉදිකිරීම් මීට උදාහරණ වේ.

අද වන විට එක දිගට දින 15 කට ආසන්න කාලයක් තුළ අධික වැසි ප්‍රමාණයක් මෙම ප්‍රදේශයට පතිතවන අතර මේ හේතුවෙන් පාෂාණ ස්ථර ලිහිල්වී සැලකිය යුතු ප්‍රදේශ කිහිපයක නායයාම් අවදානම තිවුරවී ඇත. නායයාමේ ප්‍රධාන ලක්ෂණ වන භූමියේ පිපුරුම්, නිවාසවල ඉරිතැලීම්, ගස් ගල් ඇලවීම්, පෙරලීම් තැනින් තැන දැකිය හැකිය. අද වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 100 කට ආසන්න ප්‍රමාණයක් පදිංචි ස්ථානවලින් ඉවත්කර ඇත.

මෙකී ගැටළුව නිරාකරණය සඳහා දිගුකාලීන, මැදිකාලීන, කෙටිකාලීන වශයෙන් පියවර ගතයුතුව තිබේ. මේ මොහොතේ  ජනතාවගේ ජීවිත හා දේපොල ආරක්ෂා කරනු පිණිස වහා විශේෂ සැලැස්මක් සහිතව මැදිහත් විය යුතු බව රජය වෙත අවධාරණය කරන අතර ඒ සඳහා අපගේද නොමද සහය ලබාදීමට සූදානම් බව වැඩිදුරටත් ප්‍රකාශ කරමි.

ස්තූතියි,

මෙයට විශ්වාසී,

සමන්ත විද්‍යාරත්න,

ඌව පළාත් සභා මන්ත්‍රී/කැඳවුම්කරු,

උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට

එරෙහි ජනතා පෙරමුණ,