බහුතරයට ආණ්ඩුව දී ප්‍රශ්නය වහා විසදන්න / මන්ත්‍රී විජේදාස ඉල්ලයි

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත පාර්ශවයට ආණ්ඩුව භාරදී රට ස්ථාවර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.ඒ අනුව ජනාධිපතිවරයා හා කතානායකවරයා එක්ව මෙම ගැටලුව කඩිනමින් විසදා ගත යුතු බවයි මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.

” ජනපතිගේ ජයග්‍රහණය තුළ නව මාවතකට රට ගමන් කරාවි කියා ජනතාව බලාපොරොත්තුවුණා. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන්නා. විධායක ජනපති බලතල ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා.

2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් අරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට වුවත් අපි ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා කිව්වා. අපිට සරල බහුතර මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් දිනාගන්න බැරිවුණත් අපි ජාතික ආණ්ඩුවක් ලෙස දේශපාලන, ආර්ථික, සමාජීය ප්‍රශ්ණ මුහුණ දෙමින් යථා තත්ත්වයට පත්කිරිමට අපි කටයුුතු කළා.

ඒ කාලය තුළ අපිට ප්‍රශ්න ඇති නොවුණා නොවෙයි. පාක්ෂිකයන් කලකිරෙද්දීත් අපි ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරිමට කටයුතු කළා. නමුත් කාලයාගේ ඇවෑමෙන් රජයේ නායකයා ලෙස කටයුතු කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයත් පැරණි අවලාද ක්‍රමයට ගමන් කළා.

ඒ කණ්ඩායම් දෙකට නායකත්වය දුන්න නායකයන් දෙපළ තම තමන්ගේ කණ්ඩායම් දෙක හසුරුවාගන්න නොහැකිවුණා. ඒ දෙපළම අසාර්ථක වුණා. අතීත් පාඩම්වලින් ඉගෙන ගන්නා අතර තමයි විශ්වාසය ගිලිහෙමින් පවතින විට පූර්ව දැනුම් දිමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නියෝගය අධිකරණයේ අභියෝගයකට ලක්ව තිබෙනවා. පාර්ලිමේන්තු සභාව තුළ ඇතිවූ කලහකාරී ස්භාවය හේතුවෙන් ජනතාව පාර්ලිමේන්තු ක්‍රමය පිළබඳව පිළිකුල් ස්වාභයෙන් කටයුතු කරන තත්ත්වයට රට පත්වෙලා තිබෙනවා.

පාලනය අකර්මණය වී ජනතාව අපේක්ෂාභංගයත්වයට පත්ව තිබෙනවා. මේ තුළ එකිනෙක පාර්ශ්වයන් අන් පාර්ශ්වයන් චෝදනා කිරීම දිගටම සිදුවුණත් එයින් ජනතාවට සුගතියක් සිදුවෙන්නේ නෑ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය තිබෙන්නේ මෙම සභාවටයි.  මේ ගැටලුව සමතයකට පත්කර ගැනීමට ජනපති හා කථානායක අතර සාකච්ඡාවකින් විසඳා ගත යුතු වෙනවා. මේ වන විට ව්‍යවස්ථාදායක හිරවීමක් සිදුවෙලා තිබෙනවා.

මෙවැනි අවස්ථාවක දේශපාලන අවස්ථාවාදය පිළිබඳ අවධානය යොමුවීම නොවෙයි. රට ස්ථාවර කර ගැනීමයි සිදුවි යුත්තේ. මේ අස්ථවරතාවය තුළ ජයග්‍රහණය ලබන නායකයෙක් පක්ෂයක්යක් නෑ.

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව තුළ සිදුවන දෑ පිළිබඳව තරුණ පරම්පරාව මේ කථාකරන දේ බැලුවාම මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන කාලය වැඩි ඈතක නොවෙයි. අපි අනාගතය ගැන සුබ වාදීව බැලිය යුතුයි. බහුතරයක් මෙහෙයවන කණ්ඩායමට අවස්ථාව ලබාදීම තුළයි මෙය සිදුවිය යුත්තේ. මන්ත්‍රීවරයෙක් ලෙස ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරිමක් කරන්න මම සූදානම්.

මේ ගැටලුව විසඳන්න පුළුවන් කථානයට පමණයි. ජනපතිතුමත් විශාල කැපවීමක් කළා. ලක්ෂ 62ක් ජනතාව එතුමාට ලබාදුන් විශ්වාසය තබාගනිමින් එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරාවි”