බැදුම්කර සහෝදර සමාගමකින් සුජීව සේනසිංහට ලක්ෂ 30ක් දීලා

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන්  රුපියල් මිලියනය බැගින් වටිනා චෙක්පත් තුනක් බාදී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට බව අනාවරණවී තිබෙනවා.

චෙක්පත් තුන එම මන්ත‍්‍රීවරයාගේ අනුදැනුම මත ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා විසින් බැංකුවකින් මාරු කොට රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ඇමතිවරයාට දුන් බව එම ආරක්‍ෂක නිලධාරීවරයා රහස් පොලීසියට පවසා ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ දැනුම් දුන්නා.

සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවල ප‍්‍රගතිය දැනුම් දෙමින් රහස් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මෙලෙස මුදල් ලබා ගැනීම පිළිබද කරුණු දක්වා තිබුණා.
මීට පෙර අනාවරණ වුයේ බැදුම්කර වංචාවට සම්බන්ධ සමාගමේ සහෝදර සමාගමකින් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද රුපියල් ලක්ෂ 10ක් ලබාගෙන ඇති බවයි.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද පසුගියදා සදහන් කළේ 2015 මහ මැතිවරණ සමයේ තමන්ට අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදුන් බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *