You are here
Home > ප්‍රධාන-පුවත් > බිලියන ගණනක අවසන් කැමති පත්‍ර 252ක් අද අධිකරණයට

බිලියන ගණනක අවසන් කැමති පත්‍ර 252ක් අද අධිකරණයට

දශක නවයකට ආසන්න කාලයක් තිස්සේ මහාභාරකාරවරයාගේ සේප්පුවේ තැන්පත් කර ඇති රුපියල් බිලියන ගණනක වටිනාකමින් යුත් දේපළවලට අදාළ අන්තිම කැමතිපත්‍ර 252ක් අද අධිකරණයට කැදවෙනවා.ඒ කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා නිකුත් කළ නියෝගයකට අනුවයි. 1931 වසරේ සිට 1992 වසර දක්වා දිවයිනේ විවිධ තරාතිරමේ පුද්ගලයින් හා දානපතීන් විසින් මහාභාරකාරවරයාට පවරා මෙතෙක් මහාභාරකාරවරයා කිසිදු පියවරක් නොගත් අන්තිම කැමතිපත්‍ර 252 ක් මෙසේ අධිකරණරණයට කැදවා තිබෙනවා.

වත්මන් මහාභාරකාර සනත් වීරත්න මහතා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

1931 වසරේ සිට 1992 වසර දක්වා විවිධ පුද්ගලයන් මහා භාරකාර – දෙපාර්තමේන්තුවට අන්තිම කැමතිපත්‍ර මඟින් පැවරූ දේපළ සම්බන්ධයෙන් හිටපු මහාභාරකාරවරුන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, එම අන්තිම කැමතිපත්‍ර විවෘත කර ඒවායේ කැමැත්ත ඉටුකිරීමට අවසර ලබාදෙන ලෙස මහාභාරකාරවරයා මෙම නඩුව මඟින් ඉල්ලා තිබෙනවා.

අන්තිම කැමති පත්‍ර සතු දේපළ පිළිබඳ අවසන් තීරණය දිසා අධිකරණය බැවින් මහාභාරකාර පනතේ අටවන වගන්තිය ප්‍රකාරව දිසා අධිකරණයේ අධීක්ෂණය යටතේ අන්තිම කැමතිපත්‍ර විවෘත කිරීමට අවසර ලබාදෙන ලෙසටයි එමගින් ඉල්ලා ඇත්තේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්ක්‍රාම් මොහොමඩ් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම දේපළවල වටිනාකම රුපියල් බිලියන හෝ ඊට වැඩි විය හැකි බවයි.

අන්තිම කැමතිපත්‍ර මහභාරකාරවරයාට බාරදීමෙන් පසුව මාස තුනක් ඇතුළත ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම මහාභාරකාර දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය වූවත් මෙතෙක් පත් වූ මහාභාරකාරවරුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකර නොමැති බැවින් අධිකරණයේ අධීක්ෂණය පරිදි ඒවා විවෘත කර කැමැත්ත ඉටුකිරීමට අවසර ලබාදෙන ලෙස මෙයින් ඉල්ලා තිබෙනවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top