You are here
Home > ආසන්න-පුවත් > බෝම්බ තර්ජනය බලය අහිමි උමතුවෙන් කළ එකක් / ජේ සී ගෙන් විමල්ට පිළිතුරු

බෝම්බ තර්ජනය බලය අහිමි උමතුවෙන් කළ එකක් / ජේ සී ගෙන් විමල්ට පිළිතුරු

පාර්ලිමේන්තුවට ගුවනින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම සුලුවෙන් නොතැකිය යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ පමණක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබන සියලුම දෙනාගේ දැඩි අවධානයට ලක්විය යුතු බවයි.
බලය අහිමිව සිටින ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම උමතු ස්වරූපයෙන් හැසිරෙන ආකාරය මෙවන් ප්‍රකාශ තුලින් පැහැදිලි වන බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කරන්නේ.
නව ව්‍යවස්ථාව තුලින් රට තුල බොහෝ ගැටලුවලට ස්ථීර විසදුම් හිමිවුවහොත් එමගින් සදාකාලිකව බලය අහිමිවන බව දන්නා පරාජිත පිරිස් යළිත් බලය පැවැති අවස්ථාවේ මෙන්ම හැසිරීමට උත්සාහ දරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
බලය අහිමිව සිටිද්දී මෙසේ හැසිරෙන්නේ නම් පසුගිය සමයේ කවර ආකාරයෙන් ඔවුන් කටයුතු කළේදැයි සිතා ගැනීම ජනතාවට පැවරෙන බවද ඔහු කියා සිටියා.
විමල් වීරවංශ වැනි පිරිස්වලට පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම පිළිබද අත්දැකීම් ඇති බව රටම දැන සිටියද යළිත් එවන් තත්ත්වයන් ඇති කිරීමට වත්මන් රජය ඉඩ ලබා නොදෙන බවද අලවතුවල මහතා අවධාරණය කරනවා.
එබැවින් අපරාධ වරදක් යටතේ පියවර ගත හැකි ආකාරයේ මෙම තර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ විගස අවශ්‍ය පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

Top