භක්ෂකයින් පන්නා ක්‍රීකට් පාලනය ක්‍රීඩකයන්ට දෙන්න

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද පවතින තත්ත්වය පිළිබද බොහෝ දෙනා සටහන් තබා ඇත.එහෙත් මෙරට ක්‍රීඩා බලධාරීන් මර නින්දේ පසුවන බව පෙනෙන්නේ දේශපාලනික වුවමනා වෙනුවෙන් හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ක්‍රිකට් භක්ෂකයින්ට ඉඩ දී ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් ඈත් කර තැබීමට කටයුතු කර ඇති හෙයිනි.
පසුගිය ක්‍රිකට් සභාපතිවරයාගේ සමය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මාරාන්තික පරිහානිය සිදුවූ කාලය බැව් පැවසීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නොවන්නේ මේ වන විට ශ්‍රේණිගත කිරීම් දෙස බැලීමෙනි.
අතිශය දුර්වල කණ්ඩායම් ලෙස නම්ව තිබූ ඇෆ්ගනිස්ථානය මෙන්ම බංග්ලාදේශයද ඇතැම් ශ්‍රේණිගත කිරීම්වල ලංකාව පසුකර ඉහළට යමින් සිටී.
වසරක් තුල ක්‍රීඩකයින් විශාල පිරිසක් කණ්ඩායමට එක් කරමින් යළි ඉවත් කරමින් මෙන්ම ක්‍රීඩකයින්ගෙන් පලි ගනිමින් මෙම සමයේ ක්‍රිකට් බලධාරීන්ගේ හැසිරීම අතිශය පිළිකුල් කළ යුතු මට්ටමක පවතින බව මැදිහත්ව සලකා බැලීමේදී පැහැදිලිවේ.
ඒ හේතුවෙන්ම බුකිකරුවන්ට ඉඩ දී ක්‍රීඩකයින් ක්‍රීඩාවෙන් ඈත්වූ බව පැහැදසිලි වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් නැවීමට එක්වන්නැයි කළ ඉල්ලීම ප්‍රධානතම ක්‍රීඩකයින් විසින් පැහැදිලිව ප්‍රතික්ෂේප කිරීම තුලිනි.
1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩකයින් අද පරිණත මට්ටමක සිටින බැවින් වඩාත් සුදුසුවන්නේ ක්‍රිකට් පාලනය ඔවුන් වෙත පැවරීමය.
නොඑසේනම් බුකිකරුවන් ඇතුලු නුසුදුස්සන් විසින් පුද්ගලික අභිමථාර්ත වෙනුවෙන් ක්‍රිකට් නැත්තටම නැතිකරනු ඇති බව ඉදුරාම පැහැදිලිවේ.
මෙහිදී අර්ජුණ රණතුංග දැනට දේශපාලනයේ යෙදී සිටින බැවින් ඔහුටද ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීමට සදාචාරාත්මක අයිතියක් ඇති බව අප නොසිතමු.
එහෙත් 1996 කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙන්ම ඊට පෙර ක්‍රිකට් ක්‍රීඩා කළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් ලංකාව සතුව පවතී.
එහෙයින් ඔවුන්ගේ ලෙය බැදී ඇත්තේ ක්‍රිකට් සමගිනි.
වීදුරු ගෙවල්වල සිට ගල් ගසන මන්දබුද්ධිකයින් කවර අදහසක් දැක්වුවද ක්‍රිකට් වෙනුවෙන් තමන්ගේ සහාය සෑමදිනකම ලබාදෙන බව අරවින්ද ද සිල්වා කියන්නේ එහෙයිනි.
කෙසේ වෙතත් ක්‍රිකට් අනුභව කළ පාලක මණ්ඩලය හා ක්‍රිකට් විනාශ කළ ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුවට ලේබලයක් වැදීම වැලැක්විය හැකිවන්නේ ක්‍රීඩාව ක්‍රීඩකයින්ට දීමෙන් මිස අන් අයුරකින් නොවේ.
එහෙයින් කූට අවස්ථාවාදීන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පිටතට පලවා ක්‍රීඩකයින්ට ක්‍රීඩාව භාරදීමේ වාරය එළඹ තිඛේ.
එසේ නොවන්නේ නම් ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින් මෙන් තවත් බොහෝ ක්‍රීඩකයින්ට ක්‍රීඩාව අතහැර යාමට සිදුවනු නිසැකය.
රටට කෙතරම් ආදරය වුවත් මේ වන විට මාලිංගට ඉතිරිව ඇත්තේ වෙනත් රටකට හෝ ක්‍රීඩා කිරීම මිස මුග්ධයින් හමුවේ දණ නැවීම නොවේ.
සෑම දිනකම ගිරා ඛෙනයට රිංගා ගත් වදුරන් එය නොගැලපෙන බවද ඔප්පු කර තිඛේ.
එහෙයින් ක්‍රිකට් භක්ෂකයින් පලවා හැරීමට ජනාධිපතිවරයා හෝ මැදිහත් නොවන්නේ නම් ලංකාව දෙවන පෙලට ඇදවැටීම සක්කරයාට හෝ වැලැක්විය නොහැකි වනු ඇත.