මන්ත්‍රී ප්‍රසන්නට එරෙහි නඩුව කල් යයි

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය අද කොළඹ මහාධිකරණය හමුවේ සිදුකෙරුණා.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ජෙරාඩ් මෙන්ඩිස් නැමති අයගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිසිදුකළ අතර අනතුරුව වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ලබන 04 වනදාට කල් තැබුණා.

නඩු විභාගය පැවැති අතර වාරයේ විනිසුරුවරිය විසින් සාක්ෂිකරු වෙත කිහිප වතාවක්ම අවවාද කරමින් කියා සිටියේ විත්තියේ නීතිඥවරු අසන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු ලබා දෙන ලෙසයි.

විත්තිකාර ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරුබිම්ක් ගොඩකර එහි පදිංචි අනවසර පුද්ගලයින් ඉවත්කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන නරෙෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමටද මහාධිකරණය තීරණය කර තිබෙනවා.