මරා සැගවූ බව හෙළිවූ දළ පූට්ටුවාගේ සිරුර සොයා සෝදිසි

ගල්ගමුව ප්‍රදේශයේ සැරි සැරූ ‘දළ පුට්ටුවා’ නමින් හැදිවෙන සද්දන්ත ඇතා කිසිවෙකු විසින් රහසිගතව ඝාතනයකර සිරුර අප්‍රකට ස්ථානයක වළ දමා ඇතැයි යන සැකය මත  පොලීසිය, පොලිස් විශේෂ බලකාය, සිවිල් ආරක්ෂක බලකාය සහ වනජීවී සංරක්ෂණ නිළධාරීහු පොල්පිතිගම, හේරත්ගම ගලහිටියාව වැව් තාවුල්ලේ සැකකටයතු ස්ථානයක කැණීම් ආරම්භ කර ඇත.

ඇත් දළ ලබා ගැනීම සඳහා මෙම දළ පුට්ටුවා මරා දමන්නට ඇතැයි යන සැකය මුලින්ම මතු වූයේ පසුගිය 22දා පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් විකිණීම සඳහා සූදානම් කොට තිබූ ඇත් දළ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය.

මෙසේ අත්අඩංගුටව ගත් එක් අයෙකු ග්‍රාම නිලධාරියෙකු බව පැවසෙන අතර අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා පොලිස් සේවයේ හිටපු සාමාජිකයෙකු යැයි කියනු ලැබේ.

වයස අවුරුදු පනහක් පමණ වන මෙම දළ පුට්ටුවා මීට පෙර අවස්ථා කිහිපයකදීම දඩයම් කරුවන්ගේ ඉලක්කයක් බවට පත් වී තිබු අතර වෙඩි පහරක් නිසා ඔහුගේ ඇසක් අන්ධ වී තිබූ බවද ප්‍රදේශවාසිහු කියති.

ඉන් පසුව තරමක් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීම නිසා වනජීවි සංරක්ෂණ දේපාර්තමේනතුව මගින් මෙම සද්දන්තයා පොලොන්නරුව සෝමාවති ජාතික වන උද්‍යානයට ගෙන ගොස් දමා ඇති අතර ඉන් දින 40කට පමණ පසුව ඔහු තම වාසභූමිය වන ගල්ගමුව ප්‍රදේශයට පැමිණ තිබූ බව ප්‍රදේශවාසිහු කියති.

ඒ එන ගමනේදී කැකිරාව ප්‍රදේශයේ වාහන පෙළකට පහරදීම නිසා මේ දළ පුට්ටුවා ගැන යළි කතා බහක් ඇතිවිය.

කෙසේ හෝ එම නිතී විරෝධී ඇත් දළ තබා ගත් පුදගලයන් දෙදෙනාගේ ප්‍රකාශ අනුව එම වැව ඉස්මත්තේ කැණීම් ආරම්භ කර ඇති අතර මෙම වන අපරාධය සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහි ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අනුව මෙම සද්දන්තයාට මෙම අපරාධය කළ වුන්ට එරෙහිව ගල්ගමුවේ වැසියන් විසින්දේව කන්නලව්වක් සිදු කිරීමේ සූදානමක් පිළිබදව අසන්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *