මහනුවර වරදකරුවන්ට දැඩි දඩුවම් / මිය ගිය අයට ලක්ෂ 5ක වන්දි

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් සදහන් කළා.

කලහකාරී සිදුවීම පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට පොලීසිය විසින් හෙළි කර ගෙන තිබෙන බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා තවදුරටත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලෙස නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාට සහ පොලිස්පතිවරයාට දැනුම්දුන් බව කියා සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ කලහකාරී සිද්ධියෙන් ජනතාවට සිදුවූ අලාභහානි පිළිබඳව සොයාබැලීමට පෙරවරුවේ දිගන, කෙන්ගල්ල සහ අකුරන යන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ මෙම අවාසනාවන්ත සිද්ධිය සංවිධානාත්මකව සිදු කළ බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු රැසක් මේ වනවිට පොලීසියට ලැබී තිබෙනවා. මේ ගැන කඩිනමින් පරීක්‍ෂණයක් පවත්වා ඊට අදාළ පියවර ගන්නා ලෙස මා නීතිය හා සාමය පිළිබඳ ඇමැතිතුමාටත්, පොලිස්පතිතුමාටත් දැනුම් දී තිබෙනවා.

මෙවැනි සිද්ධී නැවැත ලංකාවේ ඇති නොවන්නේ වැරැදිකරුවන්ට දඬුවම් කළොත් පමණයි. දඬුවම් නොකළොත් මෙය වෙනත් තැන්වලටත් යොමු විය හැකියි. ඒ නිසා වැරැදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එකතු වී යන ගමනට හානි වුණොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ගමනට හානි නොවන ලෙස අපි වැඩකළ යුතුයි. ඒනිසා ප්‍රශ්න ඇතිවූ ප්‍රදේශවලට හා ස්ථානවලට අපේ සංඝයා වහන්සේලා සහ පූජකතුමන්ලා සමග ගොස් ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඒ සඳහා දැනටමත් අපේ සංඝයා වහන්සේලා සහ පූජකතුමන්ලා සහයෝගය දක්වා තිබෙනවා.