මහින්දගේ අනාගතය ගැන ඉන්දියාවෙන් අනාවැකියක්

Banner

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සති අන්තය ගත කළේ තංගල්‍ලේය. ඒ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුව සඳුදා යෙදී තිබුණේය. සඳුදා රාත්‍රියේදී මැදමුලන නිවසේ පිරිත් සජ්ඣායනක්ද පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මහින්ද සමග පිරිත් සජ්ඣායනය අතරවාරයේදී කතා කරමින් සිටියේ ඉන්දීය සංචාරය ගැනය.
“ඉන්දියාවේ එක මහ ඇමැතිවරයෙකුයි, තවත් පක්ෂ නායකයින් කීප දෙනෙකුයි මට ආයිමත් ජනාධිපති වෙන්න පුලුවන් කියලා කිව්වා. එහෙම කිව්වට මේ අය බලයට ආපු ගමන් ව්‍යවස්ථාව වෙනස් කළා කියලා ඒ අය දැනගෙන හිටියේ නෑ”මහින්ද සිනාසෙමින් කීවේය.
පසුදින උදෑසන තංගල්ල නගර මධ්‍යයේ ඉදිකර ඇති ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට පුෂ්‍පෝපහාර දැක්වූයේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. මහින්ද පුෂ්‍පෝපහාර දක්වමින් සිටින විට පාරෙන් එහා පැත්තේ සිටි අයෙක් ඔහුගේ ඇස ගැටුණි. ඒ මහින්දගේ දේශපාලන වැඩවලට උදව් කරන යාපනයේ තරුණයෙකි. ඔහු යාපනයේ සිට තංගල්ලට පැමිණ සිටියේ ගුණ සමරුවට සහභාගීවීමටය.
“අර පාරෙන් එහා පැත්තේ ඉන්න කෙනාට එන්න කියන්න”මහින්ද තමන්ගේ ආරක්ෂකයෙක්ට කීවේ ඔහුට
පුෂ්‍පෝපහාර දැක්වීමට අවස්ථාවක් ලබාදීමටය. ඉන් පසුව මහින්ද ඔහුත් කැඳවාගෙනම තංගල්ල නගර ශාලාවට ගියේ එහි තිබූ ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරු දේශනයට එක්වීමටය.
මහින්ද පසුදා පාර්ලිමේන්තුවට ගියේය. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයට පැමිණෙන විට අනුර ප්‍රියදර්ශ යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත එක මේසයකට වී කතා කරමින් සිටියහ. ඔවුන් සියලුදෙනාම දිවා ආහාරය ගත්තේ එම මේසයේය. තෙල් අර්බුදය ගැන ඔවුන් කතා කරමින් සිටින විටදී චන්දිම වීරක්කොඩි ඇමැතිවරයාත් එතැනට ආවේය.
“මම ඇමැති වෙලා ඉන්න කා‍ලේ ගෑස් සමාගමක් බදු දෙන්න යෝජනා කළා. මම යෝජනා කළේ වැඩි කොටස ආණ්ඩුවට එන විදියට දෙන්නයි. ඒත් යෝජනාව යට ගියා”චන්දිම කීවේය.
“කොහොමත් මේ ආණ්ඩුව හදන්නේ ජාතික සම්පත් විකුණන්නේ”මහින්ද කීවේ චන්දිමගේ කතාව ගණනකට නොගනිමිනි. මහින්දගෙන් වැඩි ප්‍රතිචාරයක් නොලැබුණ තැන චන්දිම එතැනින් ලිස්සා ගියේය. චන්දිම එතැනින් ගිය පසුව මහින්ද, අනුර සහ සුසිල් කතාව දිගටම කරගෙන ගියේය. තෙල් කතාව දිගටම ඇදී යද්දී රවුෆ් හකීම් ඇමැතිවරයා එතැනට පැමිණියේය.
“කොහොමද කාන්තා නියෝජනය ගැන දැන් ගැටලුවක් නැද්ද”මහින්ද හකීම්ගෙන් ඇසුවේය.
“‍පොඩි ‍පොඩි ගැටලු තිබෙනවා. හැබැයි ඉතිං අපිට තියෙන ක්‍රමේට යන්න වෙනවානේ”හකීම් පිළිතුරු දුන්නේය.
“අපිටනම් ප්‍රශ්නයක් නෑ. ඕනෑ තරම් කාන්තාවෝ ඉන්නවානේ”මහින්ද කීවේය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් කෝට්ටේ නාග විහාරයේදී පැවැති පිංකමට සහභාගී වන්නැයි ලැබුණ ආරාධනාවක් මත මහින්ද පසුගිය සතියේදී එහි ගියේය. ජනවාරි 8 ජනාධිපතිවරණයේදී මහින්ද පැරදවීමට කටයුතු කළ සෝභිත හිමියන්ගේ ගුණ සමරුවට මහින්ද පැමිණෙනු දුටු කවුරුත් පුදුමයට පත්වූහ. මහින්ද එහි එන විට විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද එහි විය.

Banner