මැතිවරණ වියදම්වලට මුදල් ලැඛෙන මාර්ග හෙලිකරන්නැයි ඉල්ලීමක්

අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් පාලනය කිරීම මෙන්ම ඒ සදහා අරමුදල් සම්පාදනය වන මාර්ගද හෙළි කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් එම ආයතනය නිකුත් කළ නිවේදනයයි.

අසීමිත මැතිවරණ ව්‍යාපාර වියදම් පාලනය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ගෙන ඇති තීරණය යහපාලනය දිරිගැන්වීමක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය විශ්වාස කරයි. කෙසේ වෙතත්, මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කිරීම වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේදී අවම වශයෙන් දේශපාලන පක්ෂ හා මැතිවරණ අපේක්ෂකයින්ගේ අරමුදල් වල මුලාශ්‍රයන් හෙළි කිරීමේ වැදගත්කම සැලකිය යුතු බව අපගේ විශ්වාසයයි.

අදාළ නීතින් සංශෝධනය කිරීමට 2017 ඔක්තෝබර් මස 17 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීම කාලෝචිත හා අත්‍යවශ්‍ය පියවරක් වනු ඇත. 2003 වසරේ සම්මත වූ එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ ශ්‍රී ලංකාවද පාර්ශවකරුවෙක් වන අතර, දේශපාලන පක්ෂ හා මැතිවරණ අපේක්ෂකයින්ගේ අරමුදල් වල මුලාශ්‍රයන් හෙළි කිරීම වෙනුවෙන් ගත හැකි නීතිමය හා පරිපාලනමය පියවරයන් සැලකිය යුතු බව සාමාජික රාජ්‍යයන් හට එම සම්මුතියෙන් නිර්දේශ කර ඇත. එමෙන්ම මෙම සම්මුතිය හා දූෂණය වැළැක්වීමට සම්බන්ධ සියලු ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් හඳුන්වා දුන් 156A ව්‍යවස්ථාවෙන් පිළිබිඹු වේ.

මැතිවරණ ව්‍යාපාර සඳහා වැය කරන අති විශාල මුදල් ප්‍රමාණය හා මහජන නියෝජිතයින්ගේ ආදායම අතර පරස්පරය මනාව අවබෝධ කර ගත හැක. රෙගුලාසි නොමැතිව මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් වැය කිරීම සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට මුලික බාධාවක් වන්නේය. එමෙන්ම මුල්‍යමය වශයෙන් හා අනෙකුත් අයුරින් මැතිවරණ ව්‍යාපාර සඳහා ආධාර සපයන පුද්ගලයින් හා ආයතන හෙළි කිරීම තුලින් මැතිවරණ ව්‍යාපාර හරහා මුදල් විශුද්ධිකරණය ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් වල නියැලීමට ඇති අවස්ථාව සිමා වනු ඇත.

මෙම විෂය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ට්‍රාන්සේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා මෙසේ පැවසුවේය, “දේශපාලනය හා මුදල් අතර බන්ධනය අවබෝධ කර ගැනීම සඳහා මැතිවරණ ව්‍යාපාර සඳහා ලබා දෙන ආධාර වල මුලාශ්‍රයන් හෙළි කිරීම මුලික පියවරක් වන අතර, අපේක්ෂකයකුගේ ලැදියාවන් හෙළි කිරීමට ගන්නා ඕනෑම පියවරක් ප්‍රජාතන්ත්‍රවාදය දිරිගැන්විමකි.”

විනිවිධභාවය හා රෙගුලාසි තුලින් මැතිවරණ ක්‍රියාවලියේ සුපිළිපන්බව ශක්තිමත් කළ හැකිය. මැතිවරණ මුල්‍යකරණය යන විෂයෙහි සංකීර්ණත්වය සැලකිල්ලට ගත් විට, මැතිවරණ කොමිසම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය ආයතනයන්, මැතිවරණ මුල්‍යකරණ රෙගුලාසි තුලින් විසඳිය යුතු ප්‍රශ්න හඳුනාගැනීම සඳහා සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව කටයුතු කළ යුතුය. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සංවාදයට සහභාගි වීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය බලාපොරොත්තුවේ. එසේ වුවද දැනටමත් කල් තබා ඇති මැතිවරණ තව දුරටත් කල් දැමීම සඳහා මෙම සංවාදය පාදක නොවිය යුතු බවද අප ආයතනය තරයේ විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *