මිහින් ලංකා පිහිටුවා ඇත්තේ කැබිනට් අනුමැතියෙන් තොරව බව හෙලිවේ

නියමිත කැබිනට් අනුමැතිය ලැබීමට මාස තුනකටත් පෙර මිහින් ලංකා ගුවන් සමාගම  පිහිටවා තිබූ බව අද හෙළිවුණා.  ඒ ශ්‍රී ලංකන් එයාර් ලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසම ඉදිරියේදීයි.

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියක වන චම්පා බාලසූරිය මහත්මියයි අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ.  2006 වසරේ වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා මේ සදහා කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට යොමුකර තිබෙනවා. නමුත් එහි අනුමැතිය ලැබීමට මාස තුනකටත් පෙර එය පිහිටුවීම සදහා රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. අදාළ කැබිනට් පත්‍රිකාවේ සදහන්ව තිබූ කරුණු පිළිබදව ද බාලසූරිය මහත්මිය කොමිසම හමුවේ පැහැදිලි කළා.  2006 වසරේ පිහිටවූ මිහින් ලංකා ගුවන් සමාගමට අරමුදල් ලබාගැනීම වෙනුවෙන් 2007 ජනවාරි 23 වන දින එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන මහතා රුපියල් මිලියන 500 ක මුදලක් ඉල්ලා තිබෙනවා.   ඒ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයෙන්.

ඉන් පසු 2007 පෙබරවාරි 08 වනදා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය මෙම ඉල්ලීම  මහාභාණ්ඩාගාරය වෙත යොමුකර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 250 ක මුදලක් මිහින් ලංකා ගුවන් සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබූ බවට ඇය සාක්ෂි ලබා දුන්නා. 2008 වර්ෂයේදී මෙම සමාගම තවත් රුපියල් මිලියන 500 ක අරමුදලක්  ඉල්ලා තිබූ අතර එම වසරේ අයවැයෙන් ඒ සදහා අදාළ මුදල් වෙන්කර තිබුණා. 2009 වසරේදී රුපියල් බිලියන 06 ක මුදලක්  ඉල්ලා තිබුණද මිහින් ලංකා ගුවන් සමාගමට ලබාදී තිබුනේ රුපියල් බිලියන 2.5 ක මුදලක් පමණි. මිහින් ලංකා ගුවන් සමාගම වෙත ලබාදීම සිදු වුණා.

2009 වසරේදී මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ කපිල  චන්ද්‍රසේන මහතායි. මිහින් ලංකා ගුවන් සමාගමේ සංස්ථාපන කිරීමේ සහතිකය පිළිබද කොමිසම විසින් ප්‍රශ්ණ කළා. එහිදී බාලසුරිය මහත්මිය ප්‍රකාශ කළේ එය සංස්ථාපනය කිරීම  2006 වසරේ ඔක්තෝම්බර් 27 සිදුව ඇති බවත් ඒ පිලිබද කිසිදු සාක්ෂියක් ඇය ලග නොමැති බවයි. එම සහතිකයේ  ඡායා පිටපතක් කොමිසමට ඉදිරිපත් කරන ලෙස සාක්ෂිකාරියට දැනුම් දුන්නා.

මිහින් ලංකා ගුවන් සමාගම රාජ්‍ය ව්‍යවසාය  දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට අදාළව තම සමාගමේ වාර්තා ඉදිරිපත් කර නොමැති බවද බාලසූරිය මහත්මිය කියා සිටියා.  ඊට අදාළව තොරතුරු සිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යොමු කරන ලෙස එවකට මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන, සභාපති ලලිත් වීරතුංග, වරාය හා ගුවන් සේවා හිටපු අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග යන අය වෙත ලිපි මගින් දැනුම් දුන් බව ඇය කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියා.