You are here
Home > ආසන්න-පුවත් > රට වෙනුවෙන් සැබවින්ම කැපවෙමු / අගමැතිගේ පණිවිඩය

රට වෙනුවෙන් සැබවින්ම කැපවෙමු / අගමැතිගේ පණිවිඩය

දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැප වීමට මේ නිදහස් දිනයේදී විශේෂයෙන් අදිටන් කරගනිමු යැයි ජාතික නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිතුමාගේ පණිවිඩයේ මෙසේද සඳහන් වෙයි: යටත්විජිත පාලනයෙන් නිදහස ලබා 70 වසරක් සපිරීම අද අපි මහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වසරේ ඒ නිදහස දිනාගැන්මට අපට හැකි වන්නේ සියලු භේද අමතක කොට එකම ශ්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් කටයුතු කිරීම නිසා බව අප කිසි සේත් අමතක කළ යුතු නැත.

දිනූ නිදහස අර්ථවත් කරගැනීමට නම් වාර්ගික, ආගමික, පක්ෂ-පාට සියලු භේදයන් ඉක්මවා “එකම දැයක්” තුළ අභිමානවත්ව, සාමකාමිව, එක්සත්ව කටයුතු කිරීම අප සැමගේ වගකීමකි. නිදහස වඩාත් පරිපූර්ණ වන්නේ සමාජ, දේශපාලන, ආර්ථික නිදහස මෙන්ම මානව ගරුත්වය, ආධ්‍යාත්මික නිදහස උදා වීමෙනි. අප රජය පත් වීමත් සමඟ ඒ සඳහා අවැසි සමාජ, දේශපාලන, ආර්ථික පසුබිම ගොඩනැගීමට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කටයුතු කළ අතර, වඩාත් ස්ථාවර නිදහස් සමාජයක් ගොඩනැංවීමට තවදුරටත් කටයුතු කරමින් සිටියි.

“එකම දැයක්” තේමාව තුළ 70 වන නිදහස් සමරුව මහත් උත්කර්ෂයෙන් සමරන මේ මොහොතේ දිනූ නිදහස වඩාත් තිරසර, අර්ථසම්පන්න නිදහසක් බවට පත් කරගැනීම සඳහා සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව එක්ව කටයුතු කරනු දැකීම මාගේ අපේක්ෂාවයි. දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන් සේ කැප වීමට මේ නිදහස් දිනයේ විශේෂයෙන් අදිටන් කරගනිමු.

Top