රන්ජන්ට එරෙහි චෝදනාව සලකා බැලීම පෙබරවාරි 26

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිල්ල පෙබරවාරි මස 26  වැනිදා කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඊවා වනසුන්දර සහ එල්. ටී.බී .දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ හමුවේ අද පැමිණිල්ල සලකා බැලූ අතර  වගඋත්තරකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසි අනුවයි.

මෙම නඩුවට පාදක වී තිබෙන වග උත්තරකරුගේ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු බව කියන සංයුක්ත තැටි ද තමන් වෙත ලැබි නොමැති බවයි රංජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එහි ලේඛකාධිකාරී වරයාට නියෝග කළේ මෙම නඩුවට අදාළ නොතීසිය සහ ප්‍රශ්න ගත ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් වගඋත්තරකාර පාර්ශ්වය වෙත නිකුත් කරන ලෙසයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ වගඋත්තරකරුගේ ප්‍රශ්නගත ප්‍රකාශයෙන් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ නම් ඊට අදාළව චෝදනා පත්‍රයක් ගොනු කිරීම නීතිපතිවරයාගේ ඊළඟ පියවර බවයි.