ලයනල් සදුන්ගේ හිත රසිකාවියක්‌ ළඟ නතර වෙලා

රයන් රයන් ලෙස නොව ලයනල් සඳුන් විදිහට හදුන්වන්නට කැමැති රසිකයන් ඕනෑ තරම් ඇති. මොහොතක්‌ හරි ලයනල් සඳුන් සොනාලි ටීචර්ට ආදර ආරාධනාවක්‌ කරන්න ගිහින් වැඩ වරද්ද ගනිවි කියලා බලාගෙන ඉන්න පිරිසකුත් ඇති. මේ මොන දේ නිසාත් ලයනල් සඳුන් හාස්‍යයට භාජනය වුණත් මේ කාරණාවේදී නම් ලයනල් අනූ නවයෙන් බේරිලා හිටියේ. තිරයේ ඔය මොන ආදර කතා කිව්වත් හැබෑ ලෝකයේදී රයන්ගෙ ආදර හිත වසඟ කරගත් ආදර කතා සමගින් අපි රයන්ට ආදර හැන්දෑවට ඇරයුම් කළා.

මුල්ම ආදර හැගුම රයන්ගෙ හිතමත රැඳෙන්නේ?

පළමු ආදර හැඟුම මට දැනෙද්දී අවුරුදු පහළොවක්‌ විතර ඇති. මම ඉගෙනගත්තෙ දෙහිවල සාන්ත මරියා විද්‍යාලයේ. එයා වෙනත් පාසලක සිසුවියක්‌. ඒ දවස්‌වල 1.30 ට ඉස්‌කෝලෙ ඇරුණහම අපි ගෙවල් වලට යන්නෙ නැහැ 2.30 3.00 විතර වෙනකම් බස්‌ නැවතුමෙ තමයි ඉන්නෙ. ඒ කාලෙ ඉස්‌කෝලෙ අද්දර සිසුන්ට පාර මාරුවෙන්න පාසලෙන් යොදවා තිබුණ ට්‍රැෆික්‌ කණ්‌ඩායම භාරව හිටියෙ මම. එයා ඉස්‌කොලෙ යන්නෙ එන්නෙ පෞද්ගලික ප්‍රවාහන සේවයකින්. මගේ යාළුවෝ කරන්නෙ අපේ පාසල ගාව ට්‍රැෆික්‌ බ්ලොක්‌ එකේදී එයා ගමන් කරන වෑන් එක මොහොතකට හරි නතර කර ගන්නවා. ඒ වෙලාවට තමයි අපේ පෙම් හසුන් ආදර බැලුම් සියල්ලම හුවමාරු වෙන්නෙ.

හිරිමල්වියේම ආදරයට බාධක වැටකඩොළුත් බොහොයිනේ ?

ප්‍රශ්න ඇති වුණා. මේ සම්බන්ධය දැනගෙන එයාට ගෙදරින් ගහලත් තිබුණා. ඒත් අපි කොහොම හරි අපේ ආදර කතාව ඉදිරියටම අරගෙන ගියා. එක වතාවක අහම්බෙන් වගේ මට මගේ යාළුවෙකු මගින් ඇගේ අයියාව දැන හදුනාගන්න ලැබුණා. ඔහුව හදුන ගන්නතුරුම මම දැනගෙන හිටියේ නැහැ ඔහු එයාගේ අයියා කියලා. කොහොම හරි පස්‌සේ කාලෙ ඇයගේ සොහොයුරත් අපිට උදව් කළා. ආදර කතාව ඉදිරියට අරගෙන යන්න.

පාසල් සමයෙනුත් පසුව මේ ආදර කතාව ගලාගෙන යනවද ?

ඉස්‌කෝලෙන් අයින් වුණාට පස්‌සෙ අපිට දකින්න කතාබහ කරන්න තොරතුරක්‌වත් දැනගන්න තිබුණ මාර්ග ඇහිරිලා ගියා. අද වාගේ දුරකථන අපිට තිබුණේ නැහැනේ. ලියුමකින්ම තමයි තොරතුරක්‌ දැනගත්තේ. නමුත් එයාගේ ගෙදරින් තිබුණ විරෝධය නිසා ලියුම් ගනුදෙනුවත් කරගෙන යන්න බැරිවුණා.

ඉතින් ඊට පස්‌සෙ ?

ඊට පස්‌සෙ මම යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට බැදුණා. ඒක බොහොම කලබලකකාරී වකවානුවක්‌. ආදරයක්‌ ගැන හිතන්න අස්‌වැසිල්ලක්‌ අපිට තිබුණේ නැහැ. මුළු කාලයම ගෙවුණේ රාජකාරිය එක්‌ක. ඒ කාලේ තිබුණ යුදමය වාතාවරණයත් එක්‌ක නිවාඩුවට ගෙදර ඇවිත් ගියෙත් කලාතුරකින්. ඇත්තම කියනව නම් ඒ කාලෙ මම ආදරයක නොබැඳී තනිකඩව ගෙවූ දිවිය අස්‌වැසිල්ලක්‌ වුණා. තව කෙනෙක්‌ වෙනුවෙන් වෙන් කරන්න කැපවෙන්න කාලයක්‌ මට තිබුණේ නැහැ.

සෙබළෙකුගේ හිතේ ආදර හැගුමකට ඉඩක්‌ නෑ කියලද හිතන්නේ ?

එහෙම නෙවෙයි. මා පැවසුවේ එදවස මම මුහුණදුන් වාතාවරණයයි. කොහොම හරි මම රාජකාරියට සමුදෙන්නෙ යුද්ධයේදී වෙඩි වැදිල ආබාධිත තත්ත්වයටත් පත්වෙලයි. ආබාධිත රණවිරුවෙක්‌ විදිහට. මම ඒ කාලේ ජනාධිපති ආරක්‍ෂක සේවයේ රාජකාරි කළා. පසුව මම එම රැකියාවෙන් අයින් වුණා. ඔය කාලෙ මම නැවතත් පෞද්ගලික අංශයේ රැකියාවක්‌ කරන්න පටන් ගන්නවා. ඒ දවස්‌වල හැන්දෑවට අපි කෝපි බොන්න යන තැනකදි බුද්ධික ජයරත්න හදුනාගන්න ලැබුණා. ඔහුගේ පළමු සිනමා නිර්මාණයේ මට රගපාන්න කතාකරනවා. ඒ වෙද්දී මම මෝස්‌තර නිරූපණයට යොමුවෙලයි හිටියේ.

රයන් සිනමාවට ඇවිත් ආයෙත් පෙම්වතෙක්‌ වෙනවා ?

ඔබගේ නිර්මාණයට මාව හොදයි කියල ඔබට හිතෙනව නම් මම රගපාන්නම් කියලා බුද්ධිකට කිව්වා. ඔන්න මම ආයෙත් පෙම්වතෙක්‌ වෙනවා. හැබැයි හැබෑ දිවියේ නෙවෙයි. බුද්ධිකගේ දේදුනු වැස්‌ස චිත්‍රපටයේ කැමරාව ඉදිරියෙයි. එදා මගේ පෙම්වතිය වෙන්නෙ නෙහාරා අතපත්තු කියන යුවතිය. ඇය මේ වෙද්දි රංගනයෙන් දුරස්‌ වෙලා.

නළුවෙක්‌ වෙලා ජනප්‍රිය වෙද්දි රයන්ට ආදරයෙන් මගහැර ඉන්න බැරිවෙනවා ?

ඔව්. ඊට පස්‌සෙ මගේ ජීවිතයේ ආදර සබදතා කිහිපයක්‌ම ඇතිවෙනවා. ඒ අපි ගෙවන කාර්ය බහුල ජීවිතයත් එක්‌ක. පෙම්වතියන් බලාපොරොත්තු වෙනවා නිතර දුරකථන ඇමතුම්, කෙටි දුරකථන පණිවුඩ. ඒ වගේම නිතර දකින්න ආදර කතා කියනවා වගේ යුතුකම්. ඒවා මගේ අතින් මගහැරෙනවා. ඔය කාරණා නිසාම ඒ හැම සබදතාවයක්‌ම බිදිලා යනවා.

හැබෑ දිවියේත් රයන්ගේ පෙම හිමිවන්නේ ක්‍ෂේත්‍රයේදී මුණගැහුණ අයටමද ?

නැහැ. මම කවදාකවත් ක්‌ෂේත්‍රයේ කෙනෙක්‌ එක්‌ක ආදර කතා පටන් ගත්තේ නැහැ. ඒක මම ප්‍රතිපත්තියක්‌ විදිහටම පවත්වගෙන ගිය දෙයක්‌. මොකද මම ප්‍රවීණයන්ගේ අදහස්‌ අවවාද වලට හරියට ගරුකරන කෙනෙක්‌. මගේ පළමු නිර්මාණයේදී රෙක්‌ස්‌ කොඩිප්පිලි නම් ප්‍රවීණ රංගන ශිල්පියා මට දුන් අවවාදයක්‌ තමයි රයන් රංගන දිවිය පෞද්ගලික දිවියේ අභිමතාර්ථ වෙනුවෙන් යොදවල රංගන දිවිය නාස්‌ති කරගන්න එපා කියන එකයි.

අද දවසේ ඔබේ ආදරය ?

මගේ ආදරයට අයිතිකාරියක්‌ ඉන්නව. ඇය මගේ රසිකාවියක්‌. ඉතින් බලනවා මොකක්‌ වෙයිද කියලා.

විවාහයක්‌ කරගත්තොත් හොදයි කියල හිතෙන්නේ නැතිද?

නැහැ. හදිසියේ විවාහවෙලා පසුව නොගැලපීම් පෙනෙන්න ගත්තම දික්‌කසාදය කරා යන එක නෙවෙයි විවාහ වෙනවා කියන්නේ. ආදර සබදතා නම් ජීවිතයේ කිහිප අවස්‌ථාවකදී අත්හැරෙනවා. ඒත් විවාහයක්‌ නම් තියෙන්න ඕනෑ. ඒ නිසා දෙන්නට දෙන්න හොදින් තේරුම් ගත්තට පසුවයි විවාහය ගැන තීරණය කරන්න ඕනෑ කියලයි මම හිතන්නේ.

ධම්මිකා සුරංජි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *