ලංකාවේ නටන චයිනා හාබර් රෙදි ගැලවේ / අල්ලස් දී බංග්ලාදේශයේ තහනම්

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබාදුන් බවට චෝදනා එල්ලවූ චීනයේ – චයිනා හාබර් සමාගමේ තවත් එවන් කූට ක්‍රියාකාරකම් රැසක් පිළිබද අනාවරණවී තිඛෙනවා.
බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත අද වාර්තා කළේ එරට චයිනා හාබර් සමාගමට ලබාදී තිබූ තවත් ව්‍යාපෘති කිහිපයක් මේ හේතුවෙන් වෙනත් පාර්ශවයන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි.
බංග්ලාදේශයේ ඩොලර් බිලියන 2 යි දශම 8 වියදමකින් ඉදිකිරීමට ගිය මෙරින් ඩ්‍රයිව් එක්ස්ප්‍රස්වේ අධිවේගී මාර්ගය චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට ලබාදීමට ගෙන තබු තීරණය වෙනස් කර ඇත්තේ එම සමාගම විසින් ව්‍යාපෘතිය ලබා ගැනීමට අල්ලස් ලබාදීමට තැත් කළ බව අනාවරණවීම සමගයි.
බංග්ලදේශයේ මාර්ග ප්‍රවාහන හා පාලම් පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙසේ චයිනා හාබර් සමාගම අල්ලස් ලබාදීමට උත්සාහ කළ බවයි හෙළිව ඇත්තේ.
මෙවන් තත්ත්වයක්ම හේතුවෙන් ඩකා සිට ෂීල්හෙට් දක්වා වූ අධිවේගී මාර්ග ව්‍යාපෘතියද බංග්ලාදේශ රජය විසින් වෙනත් පාර්ශවයක් වෙත පවරා තිබුණා.
ඒ අනුව බංග්ලාදේශය තුල චයිනා හාබර් සමාගම අසාදු ලේඛනගත කර ඇති අතර කිසිදු ව්‍යාපෘතියක් ඊට ලබා නොදෙන බවයි බංග්ලාදේශ මුදල් ඇමතිවරයා අනාවරණ කළේ.

කෙසේ වෙතත් ලංකාවේ දේශපාලනඥයන්ගේ අවස්ථාවාදය හා අසාර්ථකත්වය හේතුවෙන් මෙවන් සමාගම්වලට අල්ලස් ලබාදෙමින් මෙරට තුල ක්‍රියාත්මකවීමට ඉඩ ලබාදී තිබීම කණගාටුවට කරුණක් වුවද බංග්ලාදේශයේ දේශපාලකයින් සෘෘජු කශේරුකාවක් සහිතව කටයුතු කිරීම එරට ජනතාවට ආඩම්බරයක් ලෙසයි සැලකිය හැකිවන්නේ.

අමල් අල්මේදා