ලංකාව ගැන ෆේස් බුක් ප්‍රවෘත්ති සත්‍ය නොවේ / ජනපති

විදේශගත ලාංකිකයින් ෆේස් බුක් ඔස්සේ අසන දකින ශ්‍රී ලංකාව මෙරට සැබෑ තත්ත්වය නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කටාර් සංචාරය අතරතුර එරට වෙසෙන ලාංකිකයින් පිළිබද අදහස් දක්වමින්.

මේ සුන්දර සන්ධ්‍යාවේ කටාර් රාජ්‍යයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් වන ඔබ සියලූ දෙනා හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. ඔබේ සංගමයේ සභාපතිතුමා සඳහන් කළ පරිදි ඔබ මේ ස්ථානයට අද රැස්ව සිටින්නේ මේ රටේ සේවය කරන එක් ලක්ෂ පනස්දාහකට වැඩි ශ‍්‍රී ලාංකිකයින්ගේ නියෝජිතයින් වශයෙනුයි.

මේ රටේ විවිධ ක්ෂේත‍්‍රවල වෘත්තිකයින් විදියට, ව්‍යාපාරික ක්ෂේත‍්‍රයන් තුළ සේවය ලබා දෙමින් ඔබේත් මගෙත් උතුම් මාතෘ භූමියේ ගෞරවය ආරක්ෂා කරගෙන කටාර්හි සේවය කරන ඔබ සෑම කෙනෙකුටම මගේ ගෞරවය සහ ස්තූතිය පුදකරනවා. ඔබේ සේවාවන් ආරම්භයේ සිට මේ දක්වාම බොහෝ දුෂ්කරතාවයන් තිබෙන බව මම දන්නවා. ඇතැම් අංශවල බොහෝ පහසුකම් තිබෙන බව මම දන්නවා. විවිධ ක්ෂේත‍්‍රයන්හි විවිධ වෘත්තීන්හි විවිධ තනතුරුවල සේවය කිරීමේදී එම තනතුරට අදාළ කාර්යය, වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම ඔබේත් මගේත් උතුම් මාතෘභූමියේ තිබෙන කාලගුණික, දේශගුණික තත්ත්වයට වඩා වෙනස් වූ දුෂ්කර කාලගුණික තත්ත්වයක් තිබෙන රටක ඔබ කරන්නේ ඉමහත්වූ කැපවීමක් බවයි මා විශ්වාස කරන්නේ.

මම අද උදේ ශ‍්‍රී ලාංකික දරුවන් අධ්‍යාපනය ලබන දෝහාවල තිබෙන පාසලට ගියේ ඉතාමත් සතුටෙන්. ඒ පින්වන්ත දරු පිරිස දැකබලා ගන්නට ඔවුන් සමග කතා කරන්නට ඔවුන්ගේ පහසුකම් මෙන්ම ප‍්‍රශ්න හඳුනා ගන්නට ලැබුණු අවස්ථාව මා අගය කරනවා. එම පාසලේ වගේම ඉන් බාහිරව මේ රටේ අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන අපේ සියලුම දරුවන්ටත් මම සුබ පතනවා. ආශිර්වාද කරනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සියලු ආකාරයෙන් සාර්ථකවී මුළු මහත් මානව ප‍්‍රජාවට උතුම් වූ සේවාවක් කරන්නට ඒ දරුවන්ට භාග්‍ය සැමවිටම උදා වේවා කියා.

ඔබ සිටින්නේ ඔබේත් මගෙත් මාතෘ භූමියේ සිට ගමන් මග ගත්විට දුර රටක නොවේ. පැය හතරක් හතරහමාරක් වැනි කාලයක් තුළ ගමනාන්තය ළඟා වෙනවා. ඔබට ශ‍්‍රී ලංකාව පිළිබඳව නිතර තොරතුරු ලැබෙනවා. අහනවා. අන්තර්ජාලයෙන් මාධ්‍ය මගින් දුරකථනයෙන් ඔබට තොරතුරු ලැබෙනවා. ඒ තුළ පැය හතරහමාරක ගමනක් නිසා ඇතැම් වෙලවාට මාසයකට, දෙකකට සැරයක් යන එන අය ඇති. ඇතැම් වෙලාවට වසරකට පාරක් යන අය ඇති. තවත් අය රටට ගොස් නෑදැයින් හමුවී තොරතුරු දැන ගෙන කතාබහ කොට පැමිණෙනවා ඇති.

පැය හතරක හතරහමාරක දුර සීමාවක ඔබ සිටියත් ඔබ කරන වෘත්තීන් තුළ ඔබට තිබෙන අවිවේකය සහ දුෂ්කරතාවයන් සමග ඇතැම් විට ඔබේත් මගෙත් රට පිළිබඳව සත්‍යය වූ සැබෑ තොරතුරු දකින්න අසන්න ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. ශ‍්‍රී ලංකාවෙන් පිට සිටින ශ‍්‍රී ලාංකිකයින්, විදේශයෙහි සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් ,විදේශයෙහි පදිංචි වී සිටින ශ‍්‍රී ලාංකිකයින් බොහෝ විට රට පිළිබදව තොරතුරු ලබා ගන්නේ අන්තර්ජාලය හරහා. ෆේස්බුක්, වෙබ් සයිට් හරහා.

අන්තර්ජාලයෙන් ෆේස්බුක්, වෙබ් අඩවි හරහා ඔබ දකින ලංකාවට වඩා අපේ රට බොහෝ වෙනස් කියන එක මම ඔබට පැහැදිලිව කියන්නට ඕනෑ. ඒවායේ පළකරන තොරතුරු සියයට අනූනවයක්ම අසත්‍ය දේවල් කියන එක මම පැහැදිලිව කියනවා.

ලංකාවේ දේශපාලන තත්ත්වය, ලංකාවේ පාලනය, රජය විසින් ගන්නා තීන්දු තීරණ පිළිබඳව, ඒ වගේම දේශපාලනඥයින්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව, බොහෝ සංවිධානාත්මක අසත්‍ය ප‍්‍රචාරයන් තමයි ෆේස්බුක් වෙබ් සයිට් හරහා යන්නේ. රටට දී ඇති නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස කොතෙක් දුරට විනයගරුකව හික්මීමකින් උපේක්ෂා සහගතව භුක්තිවිඳිනවා ද යන ප‍්‍රශ්නය අපේ රටේ තිබෙනවා. එය මා නොකියාම බැහැ.

ඒ වගේම ලංකාවෙන් පිටත සිටින ශ‍්‍රී ලාංකිකයන් වැරදි තොරතුරු පදනම්කරගෙන තමාගේ ෆේස්බුක්, වෙබ්අඩවි හරහා බොහෝ නින්දා අපහාස, අසත්‍ය දේවල් පළකරනවා. ඒ ආකාරයට ඔවුන්ට ඒවා පළකරන්නට ඉඩ ලබාදී තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස නිසයි. නව තාක්ෂණික උපකරණ මිනිසා විසින් නිර්මාණය කළේ මිනිසාගේ යහපත සඳහායි. එහෙත් ඇතැම්විට තාක්ෂණය අයහපත් දේට මොනතරම් භාවිතා කරනවාද කියන කාරණය ඔබම දකිනවා ඇති. කෙනෙකුට නින්දා අපහාස කරන්න ඕනෑ නම් ෆේස්බුක් එක හරහා අන්තර්ජාලය හරහා ශීලාචාරකමින් බැහැරව කටයුතු කරන අයුරු ඔබ දකිනවා.

අද බොහෝ රටවල්වල ෆේස්බුක්, අන්තර්ජාලය, වෙබ් අඩවි, තාක්ෂණික මෙවලම්වල ක‍්‍රියාකාරීත්වය පාලනය කර තිබෙනවා. බොහෝ රටවල්වල තහනම් කර තිබෙනවා. නමුත් අපි ඒ සියල්ල සඳහා නිදහස දී තිබෙනවා. රට කඩනවා, රට බෙදනවා, බුද්ධාගම නැතිකරනවා, හමුදා කඳවුරු ඉවත් කරනවා, උතුර දෙනවා ආදිය බොහෝ වෙලාවට අන්තර්ජාලය හරහා ඔබ දකිනවා ඇති.

රටේ ජනතාව සහ විදේශවල සිටින ශ‍්‍රී ලාංකිකයන් අති බහුතරයකගේ ආශිර්වාද ඇතිව 2015 ජනවාරි 8 අලුත් ආණ්ඩුවක් බිහිකළේ වඩා යහපත් සමාජයක් ගොඩනගන්නයි. දූෂණය, වංචාව, අක‍්‍රමිකතාවය නැතිකරන ගුණාත්මක දේශපාලන පරිසරයක් තුළ යහපත් රටක් හදන්නයි. රට තුළ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස සැබෑ ලෙසම භුක්ති විඳින සමාජයක් ගොඩනගන්නයි. නමුත් ඉතා සුළු පිරිසක් දී ඇති නිදහස වැරදි විදියට භාවිතා කරමින් තාක්ෂණය හරහා රජය පිළිබඳවත් රටේ කටයුතු පිළිබඳවත් රට තුළ හා රටෙන් පිටතට වැරදි තොරතුරු දෙන්න පටන්ගෙන තිබෙනවා.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ තොරතුරු මුද්‍රිත මාධ්‍ය හරහා ඉතාමත්ම වැරදි සහගත ලෙස වාර්තා කරනවා. අපේ රටේ වසර තිහක යුද්ධයක් බිහිවුණේ එකවර එක ප‍්‍රශ්නයක් නිසා නොවන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ගෙවි ගිය වසර කිහිපය තුළ අපේ රටේ ඇතිවූ භාෂා ප‍්‍රශ්න. සංස්කෘතික ප‍්‍රශ්න, ආගමික ප‍්‍රශ්න ආදිය නිරාකරණය කරමින් යහපත් සමාජයක් ගොඩනැගීමටයි අපි සැමවිටම ක‍්‍රියාකිරීමට කටයුතු කරන්නේ. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් කරන ඉතාමත් වැරදි සහගත ප‍්‍රචාරයන් අපි රජය විදියට නිවැරදි කළත් නිවැරදි තොරතුරුවලට වඩා වැරදි තොරතුරු සමාජයට ගලා යනවා.

අපේ රටේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය නැවත ගොඩනගන්න, ආර්ථික සමෘද්ධිය ඇති රටක් ලෙස නැගෙන්න, මිනිසුන්ගේ දෛනික ජීවිතයට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කරන්නටයි අපි කැපවී සිටින්නේ. බොහෝ කලක සිට ලංකාවට අයත්, ලංකාවෙන් පිට ඉන්න ශ‍්‍රී ලාංකිකයිනුන් අහනවා අපේ රට සිංගප්පූරුවක් කරන්න බැරිද කියලා, අපේ රට කොරියාව වගේ කරන්න බැරිද අහනවා, අපේ රට යුරෝපයේ රටක් වගේ කරන්න බැරිද අහනවා, අපේ රට කටාර් වගේ කරන්න බැරිද අහනවා. මේ එක් එක් රටවල්වල තිබෙන දේශපාලන ක‍්‍රමය, සංස්කෘතික හර පද්ධතීන් ඒ සියල්ල අප විසින් තේරුම්ගත යුතුයි. අපේ රටේ තිබෙන්නේ සිංගප්පූරුවේ තිබෙන දේශපාලන ක‍්‍රමය නොවන බව ඔබ දන්නවා. අපේ රටේ තිබෙන්නේ චීනයේ තිබෙන දේශපාලන ක‍්‍රමය නොවන බව ඔබ දන්නවා. අපේ රටේ තිබෙන්නේ කටාර් රටේ තිබෙන දේශපාලන ක‍්‍රමය නොවන බව ඔබ දන්නවා.

අපේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මූලික සිද්ධාන්ත ක‍්‍රියාත්මක කරන රටක්. මිනිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න, නිදහසේ සෞඛ්‍ය සේවාව ලබාගන්න, නිදහසේ කියවන්න, ලියන්න, විරෝධතා පවත්වන්න, පෙළපාළි යන්න වගේ සියල්ලටම නිදහස තිබෙනවා. රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් කොතෙක් දුරට එම නිදහස නිවැරදි ලෙස භාවිතා කරනවාද කියන එකයි ප‍්‍රශ්නය. එය සෑම කෙනෙක්ම තමාගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු කාරණයක්. මම ජනාධිපතිවරයා වීමට පෙර රටේ තිබුණ තත්ත්වය ඔබ දන්නවා. කෙනෙක් තවත් කෙනෙක් එක්ක දුරකථනයෙන් කතාකරන්න බයවුණා. ටෙලිෆෝන් ටැප් කරනවා කියලා කෑගහනවා. මේ වසර දෙකහමාරක ශ‍්‍රී ලංකාවේ කිසිදු තැනක මාධ්‍යවේදියෙක් පැහැරගෙන ගිහින් නැහැ. මාධ්‍යවේදියෙක් රට හැරදාලා ගිහින් නැහැ. මාධ්‍ය ආයතන ගිනි අරන් නැහැ. ඒ වගේම ඝාතන සිදුවෙලා නැහැ. අතුරුදන්වීම් සිදුවෙලා නැහැ.

අපි රටට ලබාදුන්න ප‍්‍රධානම වරප‍්‍රසාදය තමයි නිදහස. ඒ තුළ තමයි රටක් ගොඩනැගෙන්නට ඕන. අද ෆේස්බුක්, වෙබ් සයිට්, අන්තර්ජාලය හරහා මෙන්ම ඇතැම් මාධ්‍ය හරහා කරන සාධාරණ නොවූ විවේචන, නින්දා අපහාස සිදුකරනවා. මම හොඳටම දන්නවා මීට කලින් තිබුණ පාලනය තුළදී නම් මේ කිසිවක් කරන්න ඉඩ තිබුණේ නැහැ කියලා. එහෙම කළානම් එක සැරයක් නැත්නම් දෙසැරයක් වෙන්න පුළුවන්. තුන්වැනි සැරේ එවැනි දෙයක් කරන්න ඉඩ තියන්නේ නැහැ. නමුත් රටක තිබිය යුතු සාරධර්ම, යහපත්කම, විනය, හැදියාව, ඒ සියල්ල සමග නිදහස් සමාජයක් ගොඩනැගීමේදී තමයි ආර්ථික වශයෙන් සමෘද්ධිය ඇති කරන්න හැකිවන්නේ. ඒ නිසා මෙවැනි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් කටාර් හි සේවය කරමින් මේ කරන උතුම් සේවාව අගය කරනවා වගේම ගරු කරනවා.

ඔබේත් මගේත් මාතෘ භූමිය සංවර්ධනය කරා රැගෙන යාමට ඔබත් මමත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා නිවැරදි හා සත්‍යවාදී ලෙස කටයුතු කිරීමට අවශ්‍යයි. අපට හොඳ රටක් හදන්නනම් අද ලෝකයේ පවත්නා තරගකාරිත්වය තුළ අපගේ මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට නම් යහපත් පාලනයක් පවත්වා ගත යුතුව තිබෙනවා. එහිදී රට තුළ ජීවත්වන ජනතාවට වගේම රටින් පිට සිටින ඔබ වැනි ගෞරවනීය ශ‍්‍රී ලාංකිකයන් වෙත ද වගකීම් රාශියක් පැවරෙනවා.

අද අප ලෝකයේ සෑම රටක් සමගම ගොඩනගාගෙන ඇති මිත‍්‍රශීලිභාවය, හොඳ හිත, අපේ රටට දීර්ඝ කාලයකට පසු ලැබුණ අවස්ථාවක්. මෙම සංචාරය තුළදී ශ‍්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතර ඇතිකර ගන්නා ගිවිසුම් ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ක්ෂේත‍්‍රයට මහත් වැදගත්කමක් ඇති කරාවි. කටාර් රජය අපිට පසුගිය දශක කිහිපය පුරාම ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල සහයක් ලබාදී තිබෙනවා. ඒ තුළ අපි තව තවත් ද්විපාර්ශවික සබඳතා හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගනිමින් කටයුතු කිරීම තමයි මේ ගමන තුළ අපේ ප‍්‍රධානතම අරමුණ වන්නේ. ඒ නිසා අපිට ඉදිරි කාලසීමාව තුළ පසුගිය කාලයටත් වඩා ශ‍්‍රී ලංකාව හා කටාර් රජය අතර වැඩි මිත‍්‍රත්වයක් තුළ සිට කටයුතු කරමින් දෙරටටම වාසිදායක වන ආකාරයට ආර්ථික වෙළෙඳ සබඳතා ඇති කරගනිමින් තවත් පැත්තකින් තාක්ෂණික පැත්තෙන් ලැබෙන දැනුම ලබාගනිමින් අපට කටයුතු කරන්න පුළුවන්. එසේ කටයුතු කිරීමේදී කටාර්හි සිටින ශ‍්‍රී ලාංකිකයන්ට ද එයින් වැඩි යහපතක් හා ගෞරවයක් ලැබෙන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා අපේ පැහැදිලි අරමුණ රට තුළ රටෙන් පිට සිටින සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම ගෞරවාන්විත බවක්, වැදගත් බවක් ඇති රටක් බවට අපේ රට පත් කිරීමයි. මෙහිදි ඔබ සෑම කෙනෙක්ම දක්වන මේ උතුම් සහයෝගය අගය කරමින් අද මේ සන්ධ්‍යාවේ ඔබ සියලූ දෙනා පැමිණ අපට දක්වන ගෞරවය, පිළිගැනීම, සහයෝගය, අපි ඉතාමත් අගය කරනවා. මෙවැනි වැදගත් අවස්ථාවක ඔබ හමුවන්න ලැබීම ගැන සතුටු වෙමින් අපි රජයක් විදියට කුමන අභියෝග ආවත්, කුමන බාධාවන් ආවත්, රටේ ඉදිරි අනාගතය සඳහා අප සැමවිටම කැපවෙන බව සඳහන් කරමින් ඔබ සියලු දෙනාගෙන් සමුගන්නවා.

ස්තුතියි !

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial