You are here
Home > ආසන්න-පුවත් > ල් ක්වාන් යූලා බිහි නොවන අසරණ ශ්‍රී ලංකාව – දවසේ කතුවැකිය

ල් ක්වාන් යූලා බිහි නොවන අසරණ ශ්‍රී ලංකාව – දවසේ කතුවැකිය

ශ්‍රී ලංකාව 1948 වසරේදී බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා මේ වන විට වසර 70ක් ගතව තිබේ.
එම කාල සීමාව තුල ලෝකයේ බොහෝ විපර්යාසයන් සිදුව ඇති අතර ලංකාව හැරුණු විට ලෝකය බොහෝ ඉදිරියට ගමන් කර ඇති බව එම කාල සීමාව පිළිබද සොයා බැලීමේදී මනාව පැහැදිලිවේ.
එදා ලෝකයට ණයගැති නොවූ ශ්‍රී ලංකාව අද ලෝකයේ ණය අවධානමේ ගිලී සිටින රටවල් 5 අතරට එක්ව සිටී.
ඊට වගකිය යුතු වන්නේ එක් රජයක් පමණක් යැයි කිසිවකුට ඇගිල්ල දිගු කිරීමේ හැකියාවක්ද නොමැත.
ඒ ආඩි සත් දෙනාගේ කැද හැළිය මෙන් මෙරට පාලනය කළ පක්ෂ / සන්ධාන / පෙරමුණු ආදී සියල්ලම රටට මෙම හානිය සිදුකිරීමට දායකවී සිටින හෙයිනි.
ඒ අනුව අද උපදින දරුවා පවා ලෝකයට ණයකාරයකු කිරීමේ සාපය හා වගකීම සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මත පැටවී තිබේ.
මීට දශක කිහිපයකට පෙර ආසියාවේ මුඩුක්කුව වූ සිංගප්පූරුව අද ලෝකයේ දැවැන්ත ආර්ථික යෝධයකු බවට පත්ව සිටී.ඒ කොලඹ නගරයටත් වඩා කුඩා රටක් වුවද / ස්වාභාවික සම්පත් රහිත වුවද ආර්ථිකය හැසිරවීමේ හැකියාව හා මෙහෙයවීමේ දක්ෂතාවය තුලිනි.
එදා ආසියාවේ දිළිදු රාජ්‍යයක් වූ කොරියාව අද නැගී සිටින්නේ ලෝක බලවතුන්ගේ ආසන්නතම සගයකු ලෙසය.
එදා පීඩාවන් රැසකගෙන් බැට කෑ මැලේසියාව අද ආර්ථික යෝධයෙකි.
එහෙත් එදා ආසියාවේ ආඩම්බරය වූ ශ්‍රී ලංකාව අද සෞඛ්‍ය ඇතුලු අංශ කිහිපයකින් හැරුණුවිට සියල්ලෙන් පිරිහුණු රටක් බවට පත්ව ඇතැයි අවංකව පිළිගැනීමට සිදුව තිබේ.
යුද්ධයක් හේතුවෙන් රටක් විනාශවිය හැකිවුවද යුද්ධයක් නිමාවූ පසුවද රටකට නැගී සිටිය නොහැකිනම් එම රටට ඉදිරි ගමනක් නැත.
රට වටකර මුහුදක් පවතින රට මෙන් කිහිප ගුණයක සාගරයක් පවතින රටක / වටිනාකම වැඩි කර ලෝකයට සැපයිය හැකි ඛනිජ සම්පත් පිරි රටක ආර්ථිකය අද රදා පවතින්නේ විදෙස්ගතව සේවය කරන අසරණ තරුණ තරුණියන්ගේ ශ්‍රමය මතවීම එදා මෙදා තුර රට පාලනය කළ සියලු නායකයින්ම ලැජ්ජාවිය යුතු කරුණකි.
නවීන නිෂ්පාදනයක් සිදුකරන / රට තුල මෝටර් රථයක් නිෂ්පාදනය කරන පුද්ගලයකුට බදු ගසා ඔහු වනසා දමන රටක් වෙත්ද එම රටට කිසිදා නැගීසිටීම අපහසුය.
දේශපාලන බල ලෝභය / අවස්ථාවාදය / බලය අයුතු ලෙස භාවිතය / පවුල්වාදය / නිලධාරීවාදය / හා හෘද සාක්ෂියක් තොරවීම යන කරුණු මෙම විනාශය රටට කරුමයක් අත් කර දී තිබේ.
සැබවින්ම ලංකාවට දශක 7ක් තුල මෙසේ සිදුව ඇත්තේ ලී ක්වාන් ්‍යූ ලා / මහතීර් මොහොමඩ්ලා වැනි නායකයින් බිහි කිරීමට ජනතාව අපොහොසත්ව ඇති බැවිනි.
එසේ පක්ෂයකට වඩා රට මුල් තැනේ තබන නායකයින් මෙරට බිහිව නොමැති බැවිනි.
පක්ෂය යකාට ගියද රටේ කිසිදු වරදක් සිදුවන්නට නොදෙමි.. විනය කඩන කවරකු වුවද නීතිය අකුරටම ක්‍රියාත්මක කර දඩුවම් දෙමි කියන්නට රාජ්‍ය නායකයින් මෙරට පහල වී නොමැති බැවිනි.
එහෙයින් රටේ මුල් තැන සිට පහලටම ගලා යන මඩ ගොහොරුවක ලංකාව එරී තිබේ.
එයින් දේශපාලනඥයන් කිසිදා ජනතාව ගොඩට ගෙන නොයන්නේ එසේ වුවහොත් දේශපාලන බලය ලබා ගැනීමට අසීරු වන හෙයිනි.
දැන්වත් ජනතාව ඇස් හැරිය යුතුය.
නිල් /කොළ / කුරහන් පාට / රතුපාට ආදී කවර පැහැයක් වුවද ජනතාවට වඩා මුල් තැන දෙනු ලබන්නේ සිය පුද්ගලික අභිලාෂයන් වෙත පමණි.
එහෙයින් දැන් හෝ ලාංකිකයා නායකයින් මෙහෙයවිය යුතුව ඇත.ඒ නායකයින් නිසි මග ජනතාව මෙහෙයවීමක් කිසිදා මෙරට තුල සිදුව නොමැති බැවිනි.

විධායකය / ව්‍යවස්ථාදායකය / අධිකරණය / මාධ්‍ය / පොලිසිය ආදී සියලු අංශ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු අතර එසේ නොවන්නේ නම් ජනතාව විසින් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලපෑම එල්ල කළ යුතු වන්නේ එසේ නොවන රටක් තවත් පිරිහීම වලක්වාලිය නොහැකි බැවිනි.

 අමල් අල්මේදා


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top