ලෙනක සිරවූ තායි සිසුන්ගෙන් දෙදෙනකු මුදාගත් බවට වාර්තා

තායිලන්තයේ ලෙනක් තුළ සති දෙකක කාලයක් පුරා සිර වී සිටින පිරිමි ළමුන් කණ්ඩායමෙන් සිසුන් දෙදනකු බේරා ගැනීමට සහන සේවා මෙහෙයුම් කණ්ඩායම් සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් නිල වශයෙන් තායිලන්ත රජය එය මෙතෙක් තහවුරු කර නැහැ. අද පෙරවරු 10ට මෙම සිසුන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ නවතම ක්‍රමවේදයකටයි. ඒ අනුව කිමිදුම්කරුවන් දෙදනකු බැගින් එක් දරුවකු ගුහාවෙන් පිටතට ගෙන ඒමට නියමිතයි.

මෙහිදී දරුවන්ට පිහිනුම් පුහුණුවක් නොමැති බැවින් කෘතිම ඔක්සිජන් ආවරන සපයා ඔවුන් ජලයේ ඇදගෙන ඒමට නියමිතයි.
මෙය දැඩි අවධානම් පියවරක් වන බවද සදහන්.
කෙසේ වෙතත් එවන් පියවරක් වෙත යොමුවීමට සිදුව ඇත්තේ ඉදිරි දිනවල වැසි ඇතිවන බවට අනතුරු අගවා ඇති බැවිනුයි.එසේ වුවහොත් ගුහාවේ දරුවන් හා ගුරුවරයා සිටින කලාපය ජලයෙන් වැසී යන බවයි නිගමනය කර ඇත්තේ.

ලෙන ගවේෂණය කරමින් සිටියදී ඒ තුළට වැසි ජලය පැමිණීමෙන් මෙම පිරිමි දරුවන් 12 දෙනා සහ පාපන්දු පුහුණුකරු ලෙන තුළ සිරවූයේ ඉකුත් මස 23වනදා යි. .

ඔවුන් ලෙන තුළ සිරවී දින 10 කට පසු ඔවුන් සොයා ගැනීමට හැකිවූයේ බ්‍රිතාන්‍ය කිමිඳුම්කරුවන් පිරිසකටයි.

එතැන් සිට තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිඳුම්කරුවන් දරුවන්ට අවශ්‍ය ඔක්සිජන්, ආහාර සහ වෛද්‍ය ආධාර සපයනු ලැබුවා.

කෙසේ වෙතත් දරුවන් සිරවී සිටින ස්ථානයේ ඔක්සිජන් මට්ටම සියයට 21 සිට 15 දක්වා පහත වැටී ඇති බව එරට බලධාරීන් අනාවරණ කළ අතර එයද මෙම හදිසි පියවර ගැනීමට හේතුවක් වී තිබෙනවා.

එම දරුවන් වෙත ඔක්සිජන් ටැංකි රැගෙන ගිය කිමිඳුම්කරුවෙකු යළි පැමිණීමේදී ජීවිතක්ෂයට පත්වීම මෙම සහන සේවා මෙහෙයුමේ ඇති බිහිසුණු බව පෙන්නුම් කරන බව විදෙස් වාර්තා සඳහන් කළා.

සහන සේවා කණ්ඩායම දරුවන් කඩිනමින් බේරා ගැනීම උදෙසා කාලය සමග තරගයක නිරතව සිටින අතර හෙට දිනයේ තද මෝසම් වැසි සමග ලෙන තුළට තවත් ජලය රැස්වනු ඇති බවයි විශ්වාස කරන්නේ.

දැනට දරුවන් සිටින ස්ථානයට ළඟාවීම සඳහා සහන සේවා කණ්ඩායම් ලෙනට පිටතින් සිදුරු 100ක් පමණ හාරා ඇති අතර බලාපොරොත්තු තැබිය හැකි ස්ථාන 18ක් හඳුනාගෙන ඇති බවද ප්‍රකාශිතයි.

මේ අතර මෙම දරුවන් කඩිනමින් බේරා ගැනීමට හැකි වුවහොත් ජූලි 15 වනදා මොස්කව්හී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා සහභාගී වන ලෙස ලෝක පාපන්දු සංගමය ආරාධනා කර තිබෙනවා.