ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල අඩුවූ වහා ජනතාවට සහනයක්/අගමැති

2016 සිට මේ දක්වා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන බැරැලයක මිල ඩොලර් 41 කින් ඉහළ ගොස් ඇති බැවැන් මෙරට ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවූ බවත් ලෝක වෙළෙපොළ ඉන්ධන මිල අඩු වූ වහා ඒ සහනය මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

ඒ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පවැති ජනහමුදවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“හබරාදුව, අක්මීමන, ගෝනාපිනුවල, හික්කඩුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම නව ගොඩනැගිලිවලට අමතරව ගෝනාපිනුවල නව ජල යෝජනා ක්‍රමයත් විවෘත කළා. මෙම ගොඩනැගිලිවල උපකරණත් සමග වටිනාකම රුපියල් මිලියින 250 ක් පමණ වනවා. මේ ප්‍රදේශයේ පරිපාලනය නිසියාකාරව ගෙන යාමට පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි අවශ්‍ය වූ නිසා අප ඔබට ඒවා ලබාදීමට කටයුතු කළා. එම වැඩකටයුතු වජිර අබේවර්ධන මැතිතුමා අවශ්‍ය නිලධාරීන් සොයා ගනිමින් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සිදු කරගෙන යනවා. මේ රටේ ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කිරීමට එතුමාත්, එතුමාගේ අමාත්‍යංශයත් ගනු ලබන පියවර සම්බන්ධයෙන් මගේ ප්‍රසංශාව පළ කර සිටිනවා. මේ හරහා ජනතාවට එක් ස්ථානයක සිට තමන්ගේ සියලූ ගැටළුවලට පිළිතුරු සහ සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙන බව කිව යුතුයි.

මෙහිදී මම විශේෂයෙන්ම රටේ අවධානය යොමු වී ඇති තෙල් මිල සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කිරීමට කැමැතියි. පසුගිය බ්‍රහස්පතින්දා දින තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කළා. මීට පෙර අප කටයුතු කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වන සහ අඩුවන විට ඊට සමගාමීවයි. නමුත් ඊට පෙර පැවැති පාලනය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩි වූ විට මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ දැමුවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන විට මෙරට වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත දැමුවේ නැහැ.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අපට පාලනය කළ නොහැකියි. එම නිසා ඉන්ධන මිල ඉහළ යන අවදියේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ දැමුවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන කාලයේදී එම සහනය ජනතාවට ලබාදිය යුතු බව මමත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් විශේෂයෙන් සාකච්ජා කර තිබෙනවා.
2014 වසරේ බොර තෙල් බැරැලයක මිල ඩොලර් 55 ක් දක්වා අඩු වී තිබුණා. නමුත් ඒ කාලයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු වුණේ නැහැ. නමුත් අපි බලයට පත්වීමෙන් පසුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117 දක්වා අඩු කළා. 2015 වර්ෂය අවසන් වන විට බොර තෙල් බැරැලයක මිල ඩොලර් 35 දක්වා අඩු වී තිබුණා. එම නිසා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පහත හෙළීමට තෙල් සංස්ථාවට හැකි වුණා.
2017 වසර වන විට ඉන්ධන මිල ඉහළ යාමට පටන් ගත්තා. 2017 වර්ෂය මැද භාගයේදී බොර තෙල් බැරැලයක මිල ඩොලර් 67 දක්වා වර්ධනය වූ අතර, ඊයේ දිනය වන විට එය ඩොලර් 77 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ ආකාරයට බලන විට ඩොලර් 35 සිට ඩොලර් 77 දක්වා වන අතිවිශාල මුදලක් එක් බොර තෙල් බැරැලයක් වෙනුවෙන් ගෙවීමට අපට සිදු වුණා. ඒ අනුව මේ වනවිට ඩොලර් 41 කින් පමණ බොර තෙල් බැරැලයක මිල ඉහළ ගොස් තිබෙනවා. එය 2015 වර්ෂයේ පැවැති මිල මෙන් දෙගුණයක්. එම නිසා සීමා සහිතව ඉන්ධන මිල වැඩි කිරීමට අපට සිදු වුණා.

භූමි තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් රටේ වාද විවාද ගණනාවක් ඇති වී තිබෙනවා. අප භූමි තෙල් මිල අඩු කළ හොත් සිදු වන්නේ ඩීසල් වෙනුවට භූමි තෙල් වාහනවලට භාවිත කිරීමයි. එවිට ඩීසල් වෙළදාම අඩු වන අතර, ආදායම ද අඩු වනවා. ඒ වගේම එම වාහන වලත් විවිධ ගැටළු ඇති වෙනවා. අප භූමි තෙල් මිල වැඩි කළේ එම නිසයි. නමුත් ධීවරයන්ටත්, විදුලි බලය නොමැති සමෘද්ධි ලාභී පවුල් වලටත් සහන මිලකට භඣමි තෙල් ලබාදෙන ලෙස අප තෙල් සංස්ථාවට උපදෙස් ලබාදුන්නා.

අපට ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වුණේ මෙවැනි තත්ත්වයක් මතයි. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් තෙල් සංස්ථාවට නොගෙවූ රුපියල් බිලියන 70 ක පමණ බිල් පත් තිබෙනවා. කෙටිකාලයක් තුළ මෙම මුදල් ගෙවීමට හැකි වේවිද යන්න විශාල ගැටළුවක්. ලෝකයේ ඉන්ධන මිල ඉහළ යෑමෙන් ඇති වෙන පාඩුවත්, මෙම බිල් පත් නොගෙවීම හේතුවෙන් ලබා ඇති විශාල පාඩුවත් පියවීම සඳහා අප මෙම පියවර අනුගමනය කළා.

2013, 2014 කාලය ලබාගත් ණය මුදල්වල පොලී ගෙවීමටත්, රටේ ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. අප 2015 දී ආණ්ඩුව භාර ගන්නා විට ආර්ථිකය කළමනාකරණය කරමින් 2016 – 2017 වන විට පොලී මුදල් හෝ ගෙවීමට හැකියාවක් ඇති වුණා. එමෙන්ම අනෙක් මුදල් සංවර්ධන වැඩකටයුතු සඳහා යෙදවීමටත් හැකි වුණා. නමුත් ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කර ගන්නා විටම මීතොටමුල්ල කුණු කන්ද නායයාම, ගංවතුර තර්ජන, නියඟය ආදී ස්වභාවික විපත්වලට මුහුණදීමට අපට සිදු වුණා. රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ නියඟය සමස්ථ කෘෂි කර්මාන්තයට බලපෑම් ඇති කළා. ග්‍රාමීය ආර්ථිකයට බලපෑම් ඇති කළා. ඒ වගේම ගංවතුරෙන් හානියට පත්වූ ගාල්ල, මාතර ආදී ප්‍රදේශවල තවමත් සංවර්ධන කටයුතු සිදු වෙනවා. ඒ සඳහාත් මුදල් යෙදවීමට සිදු වුණා. මෙවැනි තත්ත්වයන් නිසා අය වැයෙන් හෝ රජයේ ආදායමෙන් තෙල් සංස්ථාවට සහයෝගයක් ලබාදීමට නොහැකි වුණා.

බැංකු පොලිය වැඩි යැයි දැනටමත් ඇතැම් ව්‍යාපාරිකයන් අපට චෝදනා කරනවා. තවත් 5% කින් හෝ 7% කින් පමණ බැංකු පොලිය වැඩි වුණා නම් ඔබ කරන්නේ කුමක්ද? එවැනි ජනතාවට පීඩාකාරී විසඳුම්වලට නොයා ඉන්ධන මිල වැඩි කිරීම වැනි විකල්පයක් තෝරා ගැනීමට අප තීරණය කළා. ඒ වගේම ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීමට අප කටයුතු කරනවා. දැනට ඩොලර් 77 ක්ව පවතින බොර තෙල් බැරැලයක මිල 80 දක්වා වැඩි කිරීමට සවුදි අරාබිය උත්සහ කරනවා. නමුත් අනෙක් රටවල් ඊට සහයෝගය දක්වන්නේ නැහැ. තවත් වසරක් පමණ ගත වන විට මෙම මිල තත්ත්වය අඩු වෙනු ඇතැයි අප විශ්වාස කරනවා. එවිට එම සහනය අපි ජනතාවට ලබා දෙනවා.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම ආරම්භ වී තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කිරීමටයි මා මේ අදහස් ප්‍රකාශ කළේ. 2015 දී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වීමේ සහනය අප ජනතාවට ලබාදුන්නා. 2017 දී ඉන්ධන මිල ඉහළ යෑම ආරම්භ වූවත් යම් තරමක පාඩුවක් දරා ගනිමින් අප ජනතාවට ඉන්ධන ලබාදුන්නා. නමුත් මේ වනවිට තවදුරටත් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නිසා විශාල අලාභයක් දැරීමට අපේ තෙල් සංස්ථාවට හැකියාවක් නැහැ.
ඉන්ධන මිල වැඩි නොකර තෙල් සංස්ථාවේ පාඩු පිරිමසා ගැනීම සඳහා රටේ මුදල් යෙදවුවහොත් සංවර්ධන කටයුතු සඳහා මුදල් නොමැති වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩකටයුතු රාශියක් අප ආරම්භ කර තිබෙනවා. කොග්ගල වෙළෙඳ කලාපයෙන් පසු වෙනත් කිසිදු වෙළෙඳ කලාපයක් අප රටේ ඉදිවී නැහැ. නමුත් අපේ ආණ්ඩුව යටතේ වැලිගම චාර්ලිමන්ට් වත්තේ කර්මාන්ත කලාපයක් ඇති කිරීම සඳහා වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයක් ද අප එහි ඇති කරනවා.

දේද්දූව අක්කර 1800 ක විශාල සංචාරක කර්මාන්තයක් ඇති කිරීමට අවශ්‍ය මුදල් අප දැන් ලබාගෙන තිබෙනවා. ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා ඔබට ඒ පිළිබඳව පැවසුවා. ඒ අනුව සංචාරක කලාප තුනක් සහ එක් වෙළෙඳ කලාපයක් මේ ප්‍රදේශයට ලැබෙනවා. කළුතර අක්කර 400 ක තවත් වෙළෙඳ කලාපයක් ඇති කරනවා. හම්බන්තොට වෙළෙඳ කලාපය සඳහාත් මුදල් යෙදවීමට සිදු වෙනවා. මෙවැනි සංවර්ධන කටයුතු සඳහා මුදල් යොදවන්නේ නැත්නම් රටේ දියුණුවක් ඇති වන්නේ නැහැ. රටේ විශාල ණය බර නැති කිරීමට අප පසුගිය වසර තුන පුරා විශාල උත්සාහයක් දැරුවා. ආණ්ඩුවේ වියදම් සීමා කරමින් ජල ගැල්ම හා නියඟයන්ට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. මුදල් සොයාගැනීමට හැකියාව තිබෙන අවස්ථාවේ අප ඒවා සංවර්ධනය සඳහා යෙදවිය යුතුයි.

අප මේ රටේ සංවර්ධනයක් සිදු කරන්නේ නැත්නම් රටේ තරුණ පරම්පරාවට අනාගතයක් නිර්මාණය වන්නේ නැහැ. මේ වසර අවසන් වනවිට ගුවන් තොටුපොළ දෙකක් අතර තිබෙන හොඳම දිස්ත්‍රික්කය බවට ගාලූ දිස්ත්‍රික්කය පත් වනවා. කටුනායක සහ මත්තල එම ගුවන් තොටුපොළවල් දෙකකයි. එවිට සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකියි. නව සංචාරක කලාප ඇති කරන අතරතුර, දැනට සංචාරක කලාප ලෙස පවතින හික්කඩුව, උණවටුන වැනි ප්‍රදේශවලත් ගැටළු විසඳමින් තව තවත් සංවර්ධනය කිරීමට අප බලපොරොත්තු වෙනවා.

උණවටුන, හික්කඩුව ආදී ප්‍රදේශවල මූලික වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශවල තරුණ තරුණියන්ට ඒ සම්බන්ධව දැනුම ලබාදීමටත්, ස්වයං රැකි අවස්ථා ලබාදීමටත් ඒ සඳහා ණය මුදල් ලබාදීමටත් අවශ්‍ය වැඩසටහන් අප දැන් සිදු කරමින් සිටිනවා. එම නිසා සංචාරක අමාත්‍යතුමාත්, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යතුමාත් හමුවී සාකච්ජා කරමින් මේ ප්‍රදේශවල මූලික සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ගාල්ල සංවර්ධනයත් නතර නොකර ඉදිරියට ගෙන යා යුතුයි. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අප රටේ මුදල් ආරක්‍ෂා කර ගත යුතුයි. මධ්‍යම සහ දීර්ඝ කාලීන වශයෙන් අප ලබාගත් තීන්දු තීරණ හේතුවෙන් රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයාමට අපට හැකියාව ලැබී තිබෙනවා. එම නිසා මට මෙම අවස්ථාවට සහභාගිවීමට අවස්ථාව ලැබීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යතුමාටත්, එම අමාත්‍යංශයටත් මගේ ස්තූතිය පිරිනමනවා. “