වප් පුන් පොහෝ දිනය අදයි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වසරේ වප්පෝය අදට යෙදී ඇත. ඇසළ පෝය දිනෙන් ආරම්භ වන වස්සාන සමයේ අවසාන පෝය වන වප් පෝය දින ඇසළ පෝය දිනට පසුදින ආරාධනා ලැබ හෝ නොලැබ වස් අධිෂ්ඨාන කළ භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන පෝ දවසයි. ඊට පසු දින සිට ඉල් පෝය දක්වා යෙදෙන “චීවර මාසය” වස්වැසීමට ආරාධනා කළ දායක පිරිස විසින් ස්වකීය විහාරස්ථානවල, වසරකට එක්වතාවක් පමණක් සිදුකළහැකි කඨින චීවර පූජාව සිදුකරන කාලයයි.

තිලෝගුරු බුදුපියාණන්වහන්සේ, මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්මය දේශනා කොට සංකස්ස පුරයට වැඩම වීම, සැරියුත් මහරහතන් වහන්සේට, ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්‍රාවකයන් අතර අගතනතුර පිරිනැමීම, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පැවිදි වීම, දේවානම්පියතිස්ස රජු විසින්, අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව ධර්මාශෝක රජුවෙත යැවීම, එම අරිට්ඨකුමරු පැවිදිවීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේදී විනය පිටකය සංගායනා කිරීම ආදී ඓතිහාසික සිදුවීම් වූ වප්පෝය එළඹීමත් සමඟ පුරා තුන් මාසයක කාලයක් සිදුකළ බුද්ධ පූජා, බෝධිපූජා, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදී පින්කම් අවසන් වී මේ මාසය තුළ යොදා‍ගත් දිනක සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා, කඨින චීවර පෙරහර, කඨීන චීවර පූජාව සහ ඊට සමගාමීව සිදු කෙරෙන සාංඝික දානමය පින්කම් උත්කර්ෂවත්ව සිදු කෙරේ.

චීවර,පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය (සිවුරු, ආහාරදානය, සෙනසුන්, ගිලන්පස) යන සිව්පසයෙන් භික්ෂූන් වහන්සේට උපස්ථාන කිරීම, දායක පක්ෂය, ශාසනය විෂයෙහි කරනු ලබන ප්‍රධාන කාර්ය භාරයයි. එසේ උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ, දායක පක්ෂයට මෙත්සිතින් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරති. ආදර්ශ සම්පන්න කල්‍යාණ මිත්‍රයෙකු වශයෙන් කටයුතු කරති. මෙලොව පරලොව සුගතිය පිණිස ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරති. විශේෂයෙන් ගිහි පින්වත් අය සම්පත්වලින් ස්වයංපෝෂිත වීම, එම සම්පත් නිවැරදි ලෙස පරිභෝජනය කිරීම, ණය නැති බව, සම්මා ආජීවයෙන්, ධාර්මිකව ධනය ඉපැයීම යන ගිහි සැප හතර තිබිය යුතු බව පැහැදිලි කළ යුතුයි.

චීවර මාසය තුළ සිදුකරන සියලු පුද පූජාවන් ඉන් බාහිර වූ වකවානුවකදී කෙරෙන පුද පූජාවන් සහ ස්වකීය පරිභෝජනයට ගන්නා වස්තුව වැරදි වෙළඳාම්වලින් , කුඩා ප්‍රමාණයේ වංචා දූෂණ කූට උපක්‍රමයන්ගේ සිට මහා පරිමාණ වංචා දූෂණ, මත්ද්‍රව්‍ය මත්වතුර වෙළඳාම ආදී නානාප්‍රකාර පාපකාරී ක්‍රමවලින් උපයාගත් දේපොළ, වස්තුව නොවිය යුතු බව පෙන්වාදීම භික්ෂූන් වහන්සේගේ සෘජු කාර්යභාරයයි. සාධු සමාජයක යහපැවැත්ම වෙනුවෙන්, නිස්සරණාධ්‍යාශයෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේ ශාසනික දායාදයකි. දුරාචාර, විසමාචාර පිළිපැදීම් හමුවේ නිශ්ශබ්දව මුනිවත රකිමින්, සිය ප්‍රත්‍යලාභය ගැන පමණක් සිතමින් දායක පක්ෂය පූජා කරන වස්තුව අධාර්මිකව සපයාගත් එම පූජාවන් ඉවසීම බෞද්ධ භික්ෂුවකට යුතු නොවේ.

තායිලන්තයේ වස්කාලය එළඹීමට සමගාමීව විශාල පිරිසක් තාවකාලිකව සසුන් ගතවී මහණදම් පුරති. සමහරු බීමත්කම අත්හැරීමට ප්‍රතිඥා දෙති. දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන සංවර්ධනයට කටයුතු කරති. අප රටේ, ආගමික පරිසරයෙන් ඈත්ව, අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින විශාල පිරිස, බේබදුකම්, වෙනත් දුරාචාරවලට ගොදුරුවී සිටින පිරිස, යථෝක්ත සාධනීය කුසලෝපාය මගින් දැහැමි පිළිවෙත්වලට යොමුකොට ගුණගරුක සාධු සමාජයක සාමාජිකයන් බවට පත්කිරීමට වප් පෝයට සමගාමීව යෙදෙන කඨින පින්කම් කාලයේදී උත්සුකවීමට කාගේත් අවධානය යොමුවන්නේ නම් මැනවි.

ශාස්ත්‍රපති රාස්සගල සීවලී හිමි – විහාරාධිපති තායි ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මාබිම හෙයියන්තුඩුව

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial