ව්‍යවස්ථාව ගැන කතා කරන්න ජනපතිගෙන් සර්ව පාක්ෂික සමුලුවක්

නව ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ආගමික පූජකවරුන්ද ඇතුලත් වන සර්ව පාක්ෂික සමුලුවක් හා සභාවක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ සහජීවන සංගම් හා ජාතික සිවිල් සමාජ සම්මේලන ක්‍රියාකාරීන්ගේ හමුවට එක්වෙමින්.
මේ එහිදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයයි.

ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ගරු මනෝ ගනේෂන් අමත්‍යතුමාගේ නායකත්වය තුළ කටයුතු කරන සහජීවන සබඳතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන මේ ජාතික වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මේ කැඳවා ඇති සමුළුව කාලීන අවශ්‍යතාවයක්. මේ යුගයට අවශ්‍ය දෙයක් ලෙස මා විශ්වාස කරනවා. සහජීවනය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද කියන එක ඔබ දන්නවා ඇතැයි කියා මා විශ්වාස කරනවා. සහජීවනය පිළිබඳ ප‍්‍රශ්නය අප විසින් මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු විෂයක් වශයෙන් මා සිහිපත් කරනවා. සහජීවනය යනු, අපේ රටේ ජීවත්වන ජනතාව විදියට සියලු දෙනා අතරේ කතා කළ යුතු ප‍්‍රශ්නයක් පමණක්ද?සහජීවනය පිළිබඳව කතා කිරීමේදී මුලින්ම ගෙදරක පවුල් සංස්ථාවේ බිරිඳ, ස්වාමියා, දරුවන් අතරේ සහජීවනය තියෙන්නට ඕන. පවුල් සංස්ථාවේ සහජීවනය නැතිනම් පවුල් සංස්ථාවත් අවුල් වෙනවා. ජීවත් වෙන්න, ජීවන මාර්ගය සකස් කරගන්න, ජීවිතයේ වටිනාකම් කියා දෙන්න, ජීවිතය ඇගයීමකට ලක් කරන්න, සැමවිටම සෑම මිනිසෙකුටම අයිතියක් තිබෙනවා. සෑම කෙනෙකුගේම අදහස් සහ මතවලට සෑම කෙනෙක්ම ගරු කළ යුතු වෙනවා. සෑම කෙනෙකුගේම හඩට සවන් දිය යුතු වෙනවා. අපි සමාජය තුළ තිබෙන විවිධ ප‍්‍රශ්න සහ ගැටලු තේරුම් ගෙන වැඩ කළ යුතු වෙනවා. සෑම මිනිසෙකුගේම සෑම සත්වයෙකුගේම ජීවිතවල වටිනාකමක් තිබෙනවා. අපි ආදරය කළ යුත්තේ මිනිසුන්ට විතරක් නොවේ, සතුන්ටත් ආදරය කළ යුතුයි. ඒ නිසා ජීවිතවල තිබෙන වටිනාකම් පිළිබඳව මුලින්ම අපි තේරුම් ගත යුතුයි.

අපි අද සහජීවනය පිළිබඳව කතා කරන්නේ ඇයි කියන කාරණය සිතිය යුතුයි. සහජීවනය සමාජය තුළ තිබෙනවා නම් අපිට කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. සහජීවනයක් නැති නිසායි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. සහජීවනය ගොඩනැගීම ජාතික ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. අපේ රට තුළ සහජීවනය ගොඩනැගීමේදී මූලික වශයෙන්ම අප සෑම කෙනෙකු පිළිබඳව අපිට අවබෝධයක් තිබෙන්නට ඕන. තමාගේ ජීවිතයට තිබෙන ආදරය, අශාව, වටිනාකම වගේම අනෙක් ජීවිතවලටත් ඒ වටිනාකම දෙන්න ඕන. ඒ ගෞරවය දෙන්න ඕන. මිනිස්සු දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සු අතරේ සහජීවනය නැතිව ගියා.

ඒ දියුණුව කියලා කිව්වේ කුමක්ද මම. භෞතික වශයෙන් දියුණු වීම. භෞතික තාක්ෂණික වශයෙන් මිනිසුන් දියුණු වුණාට ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් දියුණු වුණේ නැහැ. දැනට වසර දහස් ගණනකට කලින් වනචාරිව ජීවත් වූ මිනිසුන් අතරේ හොඳ සහයෝගයක් තිබුණා. නමුත් සමාජයේ තාක්ෂණය දියුණු වෙන කොට මිනිසුන් ඈත් වුණා. ඒ ඈත් වීමත් සමග මිනිසුන්ට බලය පිළිබඳ හැඟීම් ඔළුවට ආවා. බොහෝ වෙලාවට මිනිසුන් බලය ගොඩනගාගන්න අදහස් කළා. සමහර වෙලාවට බලය තනිව ලබාගන්න කටයුතු කළා. ජර්මනියේ හිට්ලර් වගේ කෙනෙක් බොහෝ මිනිස් ඝාතන කළා. නමුත් අවසානයේ කුමක්ද වුණේ. ඒ නිසා මිනිසුන් මරලා සමාජය ගොඩනගාගන්න බැහැ. තුවක්කුවෙන් රටවල් පාලනය කළ කාලය ඉවරයි. තුවක්කුවට දැන් මිනිසුන් බය වෙන්නෙත් නැහැ.

දැන් බලන්න මේ කාලයේ අන්තර්ජාතික වශයෙන් තුවක්කු පත්තු වෙන රටවල් ගණනාවක් තිබෙනවා. ඉරාකයේ වසර කීයක් තිස්සේ තුවක්කු පත්තු වෙනවාද. ඉරාකයේ ලක්ෂ 15කට වඩා මැරිලා තිබෙනවා. තවමත් මැරෙනවා. ඇෆ්ගනිස්ථානයෙත් එහෙමයි. තුවක්කුවෙන් ප‍්‍රශ්න විසඳිිලා නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා ජාතිවාදය හා ගෝත‍්‍රවාදය නිසා ඇතිවන ගැටුම්. ඒවා ඇතිවන්නේ මිනිසුන්ගේ දියුණුව නැතිකම නිසා. භාෂාව මුල් කරගෙන, ආගම මුල්කරගෙන, සමේ වර්ණය මුල්කරගෙන මිනිසුන් සටන් කරනවා නම් ඒක මොනතරම් ම්ලේච්ඡ ක‍්‍රියාවක් ද. අපේ රට වශයෙන් ගත්තාම පසුගිය දශක කිහිපයේම අත්දැකීම් තිබෙනවා. යුද්ධයක් කියන්නේ කවුරුත් ජයගන්නා දෙයක් නෙමේ. යුද්ධයෙන් මියයන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම් තක්සේරු කරන්න බැහැ. යුද්ධය නිසා මියයන මිනිසුන් ගණනය කරන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ යුද්ධයකින් කවුරුත් දිනන්නේ නැහැ කියලා.

අද අපි සෑම කෙනෙකුටම වගකීම් හා යුතුකම් රාශියක් තිබෙනවා. අපේ රටේ ජීවත් වන සෑම කෙනෙක්ම මිත‍්‍රශීලිව එක පවුලක් ලෙසින් ගොඩනැගීම. මනෝ ගනේෂන් ඇමතිතුමා මේ කරන්නේ ඒ කටයුත්තයි. අපි සෑම කෙනෙක්ම අනෙක් සියලු දෙනාට ගරු කරන්න ඕන. අපිට හයියෙන් කෑ ගහන්න පුළුවන්. උද්ඝෝෂණ, පෙළපාළි, උපවාස, සත්‍යග‍්‍රහ කරන්න පුළුවන්. කොළඹ විවිධ පැතිවල හැමදාම එහෙම තිබෙනවා. නමුත් ඒ තුළ ඇතිවන විසඳුම මොනවාද කියලා අපි හිතන්න ඕන. අපි එක එක පාර්ශව වලට බෙදිලා උද්ඝෝෂණ කළාට පිළිතුරු ලැබෙන්නේ නැහැ. එහෙම කරාම අවසන් ප‍්‍රථිඵලය තමයි තුවක්කු අතට ගන්න එක. ඒ නිසා අපේ රටේ නැවත තුවක්කු අතට නොගන්න විදියට වැඩ කරන්න ඕන. සාධාරණ සමාජයක් ඇති කරන්න ඕන. සෑම කෙනෙකුගේම ආර්ථිකය ගොඩගන්න ඕන. සෑම කෙනෙකුටම හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවයක් තිබෙන්න ඕන. පොදු ප‍්‍රවාහන සේවයක් තිබෙන්න ඕන. ජීවත්වීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම මිනිසෙක්ට ලැබෙන්න ඕන. ඒ සඳහා අපි රට ගොඩනගන්න ඕන.

ජනතාව අතර සමගිය සහෝදරත්ව තිබෙන්න ඕන. ජනතාව අතරේ අසමගිය තිබිලා, පිල් බෙදිලා වෙන්වෙලා කවදාවත් ජනතාව දිනන්නෙත් නැහැ, රට දිනන්නෙත් නැහැ. ඒ නිසා අපි සැම කෙනෙක්ම ඒ වගකීම් සහ යුතුකම් ඉටුකළයුතු වෙනවා. සමාජයේ ජීවත්වන සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත්වීමේ වැදගත්කම අපි පැහැදිළි කරන්න ඕන. සැකය, බිය, අවිශ්වාසය නැති වෙන්න ඕන. සැකය, බිය, අවිශ්වාසය තිබුණොත් කිසිවිටෙකත් සහෝදරත්වය සහ සමගිය ගොඩනැගෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයක් විදියට වගේම පොදු ජනතාව මේ සියලු සංවිධාන ඒකරාශිවෙලා ඒ වගකීම් යුතුකම් හිතට සහ අතට ගන්න ඕන.

අපි අද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව සංවාද කරනවා. නමුත් ඒ පිළිබඳව බොහෝ අසත්‍ය ප‍්‍රචාර පළ වෙනවා. රට බෙදනවා කියලා කියනවා. රට කඩනවා කියලා කියනවා, ජාතිය පාවා දෙනවා කියලා කියනවා, බුද්ධාගම නැති කරනවා කියලා කියනවා, ඒ චෝදනා සියල්ලම අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපි සෑම කෙනෙක්ම තේරුම්ගන්න ඕන මේ රටේ ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ ප‍්‍රශ්නය කුමක්ද කියලා අපි තේරුම්ගන්න ඕන. ඒ ප‍්‍රශ්නයට විසඳුම් සොයන්න ඕන. ඒ විසඳුම් සොයා ගැනීම තුළින් තමයි අපිට හොඳ ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා මේ අසත්‍ය ප‍්‍රචාර කරමින් සමාජය නොමඟ යවන්න එපා කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව වාර්තාවේ ඒ තිබෙන කරුණු ඕනෑම අයෙකුට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා තමයි අදත්, හෙටත්, අනිද්දත් දවස් තුනක් පාර්ලිමේන්තුවේ විවාදයකට ඒ වාර්තාව ලක් කරලා තිබෙන්නේ. එහිදී එන අදහස් අපට සාකච්ඡා කරන්න පුළුවන්. අපිට නොගැළපෙන දෙයක් තිබෙනවනම් ඒ වාර්තාවෙන් ඉවත් කරන්න පුළුවන්. තව ගැලපෙන දේවල් තිබෙනවනම් එක් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම කෙනෙකුටම ඒ පිළිබඳව වගකීමක් තිබෙනවා. මේ පිළිබඳව විවිධ අදහස් සමාජය තුළ තිබෙනවා. මේ අදහස් නිවැරදිකර ගන්න මම යෝජනා කිහිපයක් කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉන් එකක් තමයි, මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න. මම ඒ තුළින් බලාපොරොත්තු වෙනවා ගැටලු සහගත දේවල් නිරාකරණය කර ගන්න. බහුතරයකගේ අදහස් සමග රට වෙනුවෙන් වඩා සුදුසු දේ තෝරාගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා රටේ සියලු ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් සමුළුවක් කැඳවන්න. බෞද්ධ, හින්දු, කි‍්‍රස්තියානි, ඉස්ලාම් ඒ සියලුම ආගමික නායකයින්ට මම ඉදිරියේ දී ආරාධනා කරනවා එක මේසයකට වාඩිවෙන්න කියලා.

ඒ වගේම තමයි මේ තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම තිබෙන්නේ දේශපාලනඥයින්ට විතරක් නෙවෙයි. දේශපාලනඥයින්ට ප‍්‍රධාන වගකීමක් තිබෙනවා. ඒ වගේම යහපත් සමාජයක්, සාමකාමී සමාජයක් ගොඩනගන්න කැපවෙලා ඉන්න සියලුම ආගම්වල ගෞරවණිය පූජකතුමන්ලාට, ආගමික නායකයින්ට ඒ සඳහා වගකීමක් තිබෙනවා. ඒ වගේම තමයි මේ රටේ විශාල උගතුන් සහ බුද්ධිමතුන් පිරිසක් ඉන්නවා. මේ පිළිබඳව උනන්දුවක් දක්වන විශාල උගතුන් පිරිසක් ඉන්නවා. මේ රටේ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සමුළුවක් කැඳවීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අයටත් එකට වාඩිවෙල අපිත් එක්ක කතා කරන්න.

ඒ නිසා ඒ ප‍්‍රධාන අංශ තුන මම ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එකක් තමයි දේශපාලන පක්ෂවල සර්වපාක්ෂික සමුළුවක්. දෙවැනි එක තමයි අපේ සියලූ ආගමික නායකයින්ගේ සමුළුවක්. ඒ වගේම තුන්වෙනිව මේ පිළිබඳව උනන්දුවක් දක්වන මේ පිළිබඳව අවබෝධයක් තිබෙන උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සමුළුවක්. ඒ තුළ මම විශ්වාස කරනවා මේ බොහෝ ගැටලුවලට විසඳුම් ලබා ගන්න පුළුවන් කියලා. දියුණු මිනිසුන්ගේ ලක්ෂණයක් තමයි එකට වාඩිවෙලා ප‍්‍රශ්නයක් සාකච්ඡිා කරන එක. මම විශ්වාස කරනවා ඒ කටයුත්ත අපිට වගකීමෙන් ඉෂ්ට කරන්න පුළුවන් කියලා.
එහි එක් කොටසක් වශයෙන් තමයි මූලික වශයෙන් මේ පටන්ගෙන තිබෙන්නේ සහජීවනය සඳහා ගම තුළ සංවිධානය කිරීම, රටේ පොදු ජනතාව සංවිධානය කිරීම ඒ තුළ සහජීවන ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙන්නේ. ඒ නිසා ඒ බලාපොරොත්තු වන ඉලක්ක කරා යාමට, මේ රට සාමකාමී රටක් බවට පත් කිරීමට මේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන්න, මේ රට දියුණු වෙන්න අපි සියලු දෙනාම එකට එකතු වෙන්න ඕන.
තුවක්කුව සහ වෙඩි හඬ කිසි දවසක මේ රටේ නැවත ඇති නොවෙන්න අපි වගබලා ගන්න ඕන. ප‍්‍රශ්න අවුල්කරන්න ඕන කෙනෙකුට පුළුවන් බොහොම පහසුවෙන්. නමුත් ප‍්‍රශ්න විසඳීමේ වගකීම ඉෂ්ට කරන්න ඒ අවුල් කරන අයට පුළුවන්කමක් නැහැ. මේ රටේ උගත්, බුද්ධිමත් ජනතාවක් සිටිනවා. මේ රටේ ගෞරවණිය මහා සංඝරත්නය, ගෞරවණීය හින්දු, ඉස්ලාම්, කි‍්‍රස්තියානි පූජකතුමන්ලාට මම ආරාධනා කරනවා මේ ගැටුම් නැති කරන්න අපි එකතුවෙලා කටයුතු කරමු කියලා. මේ රටේ සියලු උගතුන්ට, බුද්ධිමතුන්ට ආරාධනා කරනවා අපි සියලු දෙනා එකට වාඩිවෙලා සාකච්ඡා කරලා මේ ගැටලු විසඳා ගනිමු කියලා.

මහත්මා ගාන්ධිතුමා ඉන්දියානු නිදහස් අරගලය ගෙන ගියේ අවිහිංසාවාදී ව්‍යාපාරයක් විදියට. ඒ අවිහිංසාවාදී ව්‍යාපාරය ජයග‍්‍රහණය කළා. ඒ වගේම තමයි අපි දන්නවා ඇමරිකාවේ ආචාර්ය මාටින් ලූතර් කිං වර්ණ බේදවාදයට විරුද්ධව සටන් කළා. ඔහු මානව සමාජයේ විශිෂ්ට නායකයෙක්. ඔහුට වෙඩි පහරක් එල්ලකර ඔහුව ඝාතනය කළා. ඒ වගේම මහත්මා ගාන්ධිතුමා ඝාතනය කළා. මානව සමාජය එක් කරන්න, සහයෝගීතාවයෙන් වැඩ කරන්න, සාධාරණ සමාජයක් ගොඩනගන්න වැඩකරපු බොහෝ නායකයින්ට එම ඉරණම අත් වුණා.

අපි ඉතිහාසයේ පාඩම් ඉගෙන ගන්න ඕන. ඒ යුගයන්ට වඩා අද හුඟාක් මිනිස්සු දියුණුයි. තොරතුරු තාක්ෂණය හුගක් දියුණුයි. මුළු ලෝකය වශයෙන් මිනිසුන්ගේ බැඳීමක් තිබෙනවා. ඒ තුළ අපිට අපේ ප‍්‍රශ්න විසඳාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි ශී‍්‍ර ලාංකිකයින් විදියට අපේ අනන්‍යතාවය ශක්තිමත් කරගන්න ඕන. අපි ශී‍්‍ර ලාංකිකයින් කියන අනන්‍යතාවය ලෝකයට පෙන්නන්න ඕන. ඒ තුළ තමයි අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපි සියලු දෙනා කැපවෙමු කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතියි.!

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial