You are here
Home > ආසන්න-පුවත් > වැලිකඩ ඝාතනයේ ඇසින් දුටු සාක්ෂියේ කතාව

වැලිකඩ ඝාතනයේ ඇසින් දුටු සාක්ෂියේ කතාව

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය මෙරට ඉතිහාසයේ මෑත යුගයේ ඇඳුණු දරුණූ ලේ පැල්ලමක් වශයෙන් සටහන් වී තිබේ. සුදේශ් නන්දිමාල් යනු එම ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවකු පමණක් නොවේ. එම නඩුවේ රජයේ සාක්ෂිකරුවකුද වේ.එම ඝාතන පිළිබඳවත් මෙරට දේශපාලනය පිළිබඳව ඔහු පල කළ අදහස්වල එකතුවයි.

* වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් එවකට සිටි ආරක්ෂක ප්‍රධානීන්ට චෝදනා එල්ල වුණා. ඔබ සඳහන් කළා තෝරාගත් රැඳවියන්ට එලව එලවා පහර දුන්නා කියලා. එහෙම කියන්නෙ කොහොම ද?

එදා බන්ධනාගාරයට ආරක්ෂක අංශ ඇතුළුවීම ම කුමන්ත්‍රණයක්. නීතිය අනුව අවි ආයුධ රැගෙන බන්ධනාගාරයට ඇතුළු වෙන්න බෑ. ඒ ආපු නිලධාරීන් කිසිම අවසරයකින් තොරව බන්ධනාගාරයට ඇතුළු වුණා. බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි විරෝධය මත ආව ආරක්ෂක නිලධාරීන් සිරකරුවන් පරීක්ෂා කරනවා වෙනුවට පහර දුන්නා. පහර දීලා සිරකරුවන් කුපිත කරලා කැරැල්ලක් නිර්මාණය කළා. මංජු ශ්‍රී කියන්නේ එදා කෝට්ටේ හාමුදුරුවෝ ඝාතනය කරපු නඩුවේ සැකකරු. වැලිකඩ කැරැල්ලේදී පළමුවෙන්ම ඝාතනය වුණේ මංජු ශ්‍රී. එතැනින් පටන් ගෙන තෝරාගත් අය ඝාතනය කළා. මේ සම්බන්ධයෙන් සොයා බලන්න පත් කළ කමිටුවේ නිර්දේශවල රැඳවියන්ට පහර දීමට අනුබල දුන්නේ කවුද පැහැදිලිව තියෙනවා කියලා.

සිද්ධියේ අද තත්ත්වය තමයි, පහරදීමේ ප්‍රධාන සැකකරුවන් නිදැල්ලේ තියලා වෙනත් දෙන්නෙක් ඇතුළට දාලා තිබීම. ඒ දෙන්නත් මේ පහර දීමට සෘජුවම සම්බන්ධයි. ඒ අයත් ඇවිත් මම ඉදිරිපිටම කළුතුෂාර, අමිල කියන අය මරලා දැම්මා. සිද්ධිය සම්බන්ධයෙන් ඇතුළේ ඉන්න දෙන්නා පමණක් වගකියන්න ඕනද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය. පහර දීමට අණ දීපු තවත් අය ඉන්නවා, මෙහෙයවපු අය ඉන්නවා. ඒ කිසිවෙක් අත්අඩංගුවට ගන්නෙ නැතුව උසාවියේදී කියනවා තවමත් පරීක්ෂණ කරනවා කියලා. මේ රජය මේ සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ කරන්නෙ නෑ. සියලු සිදුවීම් යටපත් කරනවා.

* කොහොම නමුත් කමිටු නිර්දේශය වුණේ රැඳවියන් තම පෞද්ගලික එදිරිවාදිකම් පිරිමහ ගන්න වෙඩි තබා ගැනීම් සිදුකරලා තිබෙනවා කියලා නේද?

ඒ කමිටුව වත්මන් රජය පත් කරපු කමිටුවක් නෙවෙයි. පසුගිය රජය පත්කළ කමිටුවේ එහෙම නිර්දේශයක් තිබුණා. එදා පැවැති කමිටුව සිද්ධිය සාධාරණීකරණය කරන්න ගියා. එතැනදීත් මම සාක්ෂි දුන්නා. එදා ඔවුන් මට කිව්වෙ ඔය සාක්ෂි දුන්නොත් ඔතැනම මරලා දායි කියලයි.

* බන්ධනාගාර අධිකාරිවරයා පහරදීම් නවත්වන්න පොලිස් විශේෂ කාර්යය බලකායට දැනුම් දුන්නා කියලා ඔබ සඳහන් කර තිබුණා. ඒකෙන් කියන්නෙ එස්ටීඑෆ් එක බලහත්කාරයෙන් පහර දුන්නා කියන එක ද?

හිටපු බන්ධනාගාර අධිකාරි ගාමිණි ජයසිංහ මහත්තයාට අපි මේ ගැන කිව්වා. එතුමා නොදැන තමයි එස්ටීඑෆ් එක ඇතුළට ඇවිත් තියෙන්නෙ. එතුමා ඒ වෙලාවේ වෙඩි තැබීම් නවත්වන්න උපරිම උත්සාහයක් දැරුවා. උසස් නිලධාරීන්ට දුරකථන ඇමැතුම් දීලා එතුමා බන්ධනාගාර රැඳවියන් පාලනය කරගන්න මට පුළුවන්,එස්ටීඑෆ් වෙඩි තැබීම් නවත්වන්න කියලා කිව්වා. සිරකරුවෝ සියල්ලෝම ගාමිණී ජයසිංහ මහත්තයා වටකරගෙන මේක නවත්වන්න කියලා කිව්වා. වෙඩි තැබීම් කඳුළු ගෑස් නවත්වා ගන්න බැරි වුණ නිසා ගාමිණී ජයසිංහ මහත්තයා එළියට ගියා. එහෙම ගියපු එතුමා ආයෙ ඇතුළට එව්වෙ නෑ. ඒ වෙලාවෙ බන්ධනාගාරය බන්ධනාගාර පාලනයෙන් මිදිලා රාජ්‍ය ත්‍රස්තවාදයට නතුවෙලයි තිබුණේ.

* බන්ධනාගාර රැඳවියන්ගේ කැරැලි කෝලාහලවලදී බන්ධනාගාර නිලධාරින්ගේ මැදිහත්වීමක් ප්‍රථමයෙන් සිදු වෙන්න ඕන.එවැනි ප්‍රමාණාත්මක මැදිහත්වීමක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් සිදුවුණේ නැද්ද?

බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක් ඇතුළේ තියලා අනෙත් අය එළියට අරගෙනයි හමුදාව බන්ධනාගාරයට ඇතුළු වුණේ. මේ සිද්ධියේ දී බන්ධනාගාර නිලධාරීන් අතරත්, සිරකරුවන් අතරත් කිසිම ගැටුමක් තිබුණේ නෑ. බන්ධනාගාර නිලධාරීන් එක් එක් සිරකරුවා ගැන හොඳ අවබෝධයකින් ඉන්නෙ. බන්ධනාගාර නිලධාරියා හා සිරකරුවා කියන්නෙ ගහයි පොත්තයි වගේ. එහෙම නැතිව සිරකරුවන් පාලනය කරන්න බෑ. ඒ දැනුම තියෙන්නෙ බන්ධනාගාර නිලධාරීන්ට විතරයි. හමුදාවට එහෙම දැනුමක් නෑ. ඔවුන් සිරකරුවෝ දැක්කෙ මනුෂ්‍යයෝ විදිහට නෙවෙයි.හමුදාව එදා හැසිරුණේ සිරකරුවෝ සත්තු විදිහට හිතලයි.

* කැරැල්ලක්, කෝලා හලයක් මර්දනය කරන්න ආරක්ෂක අංශ, කැරැලි මර්දන ඒකක කැඳවීමේ බලය හිමිවෙන්න ආරක්ෂක අංශ ප්‍රධානීන්ට. ඒක වරදක් නෑ නේද?

ආරක්ෂක අංශ කැඳවන්න කැරැල්ලක් තිබුණේ නෑ. ඔවුන් බන්ධනාගාරය ඇතුළට ඇවිල්ලා සිරකරුවන් කුපිත කරලා කැරැල්ලක් නිර්මාණය කළා. බන්ධනාගාරය ඇතුළට වෙඩි තියලා, කඳුළු ගෑස් ගහලා එළියට ගියපු අයට විරෝධය දක්වන්න සිරකරුවෝ වහලයට නැග්ගා. මේ විදිහට ආපු අය ආමරිය බිඳලා එළියට ගියා කියලා මම විශ්වාස කරනවා. ඒකෙන් තමයි සිරකරුවන්ට අවි අතට ගන්න පුළුවන් වුණේ.

* නිරායුද සිරකරුවන් ඝාතනය කරලා ඔවුන් ඉදිරියට අවි ගෙනවිත් දැමු බව, පණ බේරාගෙන දිව ගිය සිරකරුවන්ට වෙඩි තැබූ බව සාක්ෂිවලදී කියවුණා.එහි සත්‍ය කුමක් ද?

අවි ගෙනවිත් දැමුවා කියන එකට හොඳම උදාහරණය තමයි, කළු තුෂාර. ඔහු හිටියේ මම ළඟමයි. ඔහු ඇදගෙන ගෙනිහින් මරලා දැම්මා. අපි ඉස්සරහින්ම තමයි කොණ්ඩ අමිලව අරන් ගියේ. ඒ දෙන්නම මරලා දැම්මේ ආයුධ නොමැතිව අරන් ගිහින්.ඒ මිය ගියපු හැම කෙනෙක්ටම වෙඩි තියලා තියෙන්නේ සමීපයේ ඉදලයි.

* ලැයිස්තුගත කිරීමකට අනුව ඝාතනය කළා කියලා චෝදනා කරන්නේ කොහොම ද?

අපි හැමෝම ඉදිරියේ දී එක් එක් අයගේ නම් කතා කළා. මම ඉදිරියෙත් ඇවිත් නම් කියලා කතා කළා. ඒ ඒ නම් ඇති සිරකරුවෝ කොහෙද ඉන්නෙ කියලා හෙව්වා. ඒ නිසා ලැයිස්තුගත කිරීමකට අනුව ඝාතනය කළා කියලා පැහැදිලිව කියන්න පුළුවන්.

* එදා බන්ධනාගාර රැඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වුණා කියලා සිරකරුවන් සුරැකීමේ සංවිධාන හඬ නැඟුවා. අද වෙන විට ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාලකයින් පියවර අරන් තියෙනවා ද?

බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදිහට මම මුලින්ම ඇසින් දුටු සාක්ෂිකරුවෙක් හැටියට පැමිණිලි ඉදිරිපත් කළා. නමුත්, ඒ ගැන කඩිනම් පරීක්ෂණ නොකෙරෙන නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. එහෙම කරපු කැපකිරීම් නිසා තමයි වැලිකඩ සිද්ධිය අද වෙනකොටත් ටිකෙන් ටික ඉස්සරහට එන්නෙ. නමුත් මේ සිද්ධියට සම්බන්ධ තෝරමෝරු බේරගෙන හාල්මැස්සෝ විතරක් ඇතුළට දාන්න පාලකයෝ උත්සාහ කරනවා කියලා අද අපට පෙනෙනවා.

* මේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරු වූ ඔබට මැර ප්‍රහාර එල්ල වුණා. තවමත් එවැනි තර්ජන තිබෙනවා ද?

මේ සිද්ධිය සම්බන්ධයෙන් මම මැදිහත් වෙනකොට, මගෙ පිටුපස්සෙ නාදුනන වාහන පැන්නුවා. මගේ නීතීඥ මහතාටත්, මටත් දුරකථන මගින් මරණ තර්ජන එල්ල කළා. ඊට පස්සෙ අපි රීට් ආඥාවක් අරගත්තා. ඒ දවස්වල මම හිටියේ අක්කාගෙ ගෙදර. එහෙටත් ඇවිත් වෙඩි තිබ්බා. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක්. මම ජාතිවාදයට එරෙහිව යම් මතවාදයක් ගෙන යනවා. ඒකට නුරුස්සන පිරිස් අපට මැර තර්ජන එල්ල කරනවා. මම සිරගත වුණෙත් ඒ කාරණාවලට.

* වත්මන් පාලනය ප්‍රතික්ෂේප කරන ජනතාව පැවැති පාලනයේ නායකයෝ යළි බලයට ගෙන ආ යුතුයි කියලා හඬනඟනවා. එහෙම වුණොත් මේ නඩුව සම්බන්ධයෙන් කුමක් වේවිද?

පවතින රජය ජනතාවාදී නෑ කියලා කියන්න පුළුවන්. ඒ තරම් අසාර්ථක පාලනයක් තමයි ඉදිරියට ඇදෙන්නෙ. සිරකරුවෝ කියන්නෙ මේ රටේ පීඩාවට පත්වුණ පිරිසක්, ඒ වගේම තමයි කම්කරුවෝ කියන්නෙත් පීඩාවට පත් වුණ පිරිසක්. නමුත් මේ පීඩිතයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ රජය හෝ පැවැති කිසිදු රජයක් මැදිහත් වෙලා නෑ. පසුගිය පාලනය මේ පීඩිතයන් වෙනුවෙන් ඉදිරිපත් නොවුණ නිසා ඒ රජය පෙරළා දැම්මා. මේ රජයත් එහෙමම ඉස්සරහට යනවා. මේ රජයටත් ඒ වගේම අත්දැකීමකට මුහුණ දෙන්න වෙයි. අපිට තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි, ආණ්ඩු පෙරළලා ඊළඟට ගේන්නෙ කවුද කියන එක. අපි දකින්නෙ මේ රාජ්‍ය පාලකයෝ ධනපති පන්තිය වෙනුවෙන් බලය තහවුරු කරගෙන ඔවුනොවුන් ආරක්ෂා කරගන්නවා කියලා විතරයි. ඒ සමාජ ක්‍රමය තුළ ආණ්ඩු බලය විටින් විට මාරු කරගන්නවා. එතැනදී පීඩිතයාට කිසිදු ආරක්ෂාවක්, සහනයක් ලැබෙන්නෙ නෑ.

* මේ රටේ මහජනතාව සිරකරුවන් කෙරේ දක්වන ආකල්පය වෙනස්, ඔවුන්ට යමක් කියන්න තියෙනව ද?

අපි සිරගත වුණේ උප්පත්තියෙන් වැරැදිකාරයෝ වෙලා නෙවෙයි. එහෙම වුණේ මේ සමාජ ක්‍රමයේ තියෙන වරදක් නිසා. සමාජ විෂමතාවය තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. ඒක නිර්මාණය කළෙත් මේ රටේ පාලකයෝ. ඒ නිසා එහි සම්පූර්ණ වගකීම සියලුම පාලකයෝ බාරගන්න ඕන. පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් කැඩුවොත් හිරේ යවන නීතියක් තියෙන රටේ, මහ බැංකුව කැඩුවම හිරේ යවන්න බැරි ඇයි ? මෙන්න මේ කාරණය රටේ ජනතාව අවබෝධ කරගන්න ඕන. මේ රටේ පාලකයෝ තම පන්ති ආරක්ෂා කරගැනීමේ පන්ති අරගලයක මිසක් ජනතාවාදී පාලනයක් ගෙනියන්න උත්සාහ කරන්නේ නෑ. ඒ ගැන හොඳින් අවබෝධකර ගන්න කියලයි මම මේ රටේ මහජනතාවට කියන්නෙ.

Top