විජයකලාගේ කොටි කතාව ගැන ඇමති දෙදනකුගෙන් ප්‍රකාශ ගනී

හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එල් ටී ටී ඊ ය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ අවස්ථාවේ  එම උත්සවයේ සිටි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිඛෙනවා.

මීට අදාළව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගෙන් ඊයේ (12) දින සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
ඉකුත් 2 දා යාපනයේ පැවැති රාජ්‍ය උත්සවයකදී එවකට ළමා හා කාන්තා රාජ්‍ය ඇමැතිනියව සිටි විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල්ටීටීඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ප්‍රකාශ කළ අතර එය දැඩි ආන්දෝලනයකට ලක්වුණා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඉකුත් සතියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙතද කරුණු වාර්තා කර ඇගේ ප්‍රකාශය පළවූ හා විකාශය වූ මාධ්‍ය ආයතනවලින්ද ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබාගත් අතර එම උත්සවයේ රැදී සිටි පිරිස්වලින්ද මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් පවතිනවා.