විදුහල්පතිනියට දණ ගැස්වූ මහ ඇමතිට අධ්‍යාපන ඇමතිකම හොරෙන්ම දීලා

විදුහල්පතිනියක දණ ගැස්වීමේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාට යළිත් අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කළේ පරීක්ෂණවල අවසන් ප්‍රතිඵලයක් ලැබී නොතිබියදීත් යළි එම ධූරය මහ ඇමතිවරයාට ලබාදීම සදාචාර විරෝධී බවයි.
ඒ අනුව මෙම තීරණය අහෝසි නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කරන්නේ.
මේ පිළිබද සිදුකළ විමසා බැලීමකදී අනාවරණ වූයේ චාමර සම්පත් දසනායක මහතාට පසුගිය සතියේදී යළිත් අධ්‍යාපන අමාත්‍ය ධූරයද පිරිනමා ඇති බවයි.
මෙම සිද්ධියට ලක්වූ විදුහල්පතිනියට තර්ජන එල්ලවී තිබියදී එය නොසලකා මෙම ධූරය යළි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ලබාදීම දේශපාලනයේ නින්දිත ස්වරූපය පැහැදිලි කරන්නක් බවටයි බොහෝ පාර්ශව අදහස් පල කරන්නේ.