විධායකය අහෝසි කරන්න ශ්‍රීලනිපය විරුද්ධයි- අමුණුගම

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර පවත්වාගෙන යා යුතු බව  නිදහස් පක්ෂයේ ස්ථාවරය බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා, වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසනවා. දිණමින පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර තිබුණා. එම සම්පූර්ණ සාකච්ජාව මෙහි පලවේ.

මේ ආණ්ඩුව වැඩක් කළේ නැහැ කියන චෝදනාව දිගින් දිගටම එල්ල වෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?

ජාත්‍යන්තර වශයෙන් අපට තිබුණු බලපෑම් නැතිවෙලා. නිදහස් වාතාවරණයක් රටේ ඇතිවෙලා තියෙනවා. පසුගිය රජයට සාපේක්ෂව ජීවන වියදම තවමත් තියෙන්නෙ අඩු මට්ටමක. උද්ධමනයත් තියෙන්නෙ පහළ අගයක. මේ ආණ්ඩුවට යන්න වුණේ නියඟය, ගංවතුර, කුණු කඳු කඩා වැටීම, මැදපෙරදිග අර්බුදය, පහුගිය ආණ්ඩුව අපට ඉතිරි කරලා ගිය අතිවිශාල ණයකන්ද මේ හැම අර්බුදයක්ම මැද්දෙයි. ඒ අතරේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන්, විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා. මේවා ජනතා ජයග්‍රහණ නෙවෙයිද?

යහපාලන ආණ්ඩුවෙ ආර්ථික ප්‍රතිපත්ති ගැන දැඩි විවේචන එල්ල වෙනවා. රාජ්‍ය ආයතන විකිණීම, අපනයනය පහත වැටීම, රාජ්‍ය බැංකු ගැන පවා විවිධ කතා පැතිරෙනවා?

මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ආයතන කිසිවක් විකුණලා නැහැ. ඒවා දේශපාලන කතා. ඇත්තම කියනවනම් ජේ. ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ආණ්ඩුයි මේ රජයෙයි ආර්ථික ප්‍රතිපත්තිවල විශාල වෙනසක් නැහැ. මේ ඔක්කොම කළේ එකම දේ. පොඩි රටක් නිසා ආර්ථිකයේ තියෙන ස්වරූපය නිසා එක හා සමාන ප්‍රතිපත්ති තමයි හැමදෙනාටම ක්‍රියාත්මක කරන්න වුණේ. කඩාගෙන බිඳගෙන යන අලුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කිසිම කෙනෙකුට බැහැ. අපේ සම්පත් සීමිතයි. ජනගහණය, මැද පන්තියේ ජීවන මට්ටම වැඩිවෙනවා. ඉල්ලීම් වැඩිවෙනවා. පුද්ගලික අංශයේ දියුණුව අඩු නිසා රැකියා ප්‍රශ්න ඇති වෙනවා. මේවා හැම පක්ෂයකටම මුහුණදෙන්න වෙන ගැටලු. මහින්ද මහත්තයා මේ සැරේ ඡන්දෙ තිව්වෙ ජ්‍යොතිෂ්‍ය නිසා නෙවෙයි. අර්ථ ශාස්ත්‍රය හින්දයි. එයා දැනගත්ත එයා ගත්ත ණය ආපහු ගෙවන්න බැරි තත්ත්වයක් ඉදිරි කාලෙදි එන බව. ණය ආපහු ගෙවන්න බැරි වුණොත් ලෝකය පිළිගන්නෙ ඒ රට බංකොළොත් රටක් හැටියට. ග්‍රීසිය හොඳ උදාහරණයක්. හැබැයි මේ ආණ්ඩුව අමාරුවෙන් හරි මහින්ද මහත්තයා ගත්තු ණය ටික ගෙවනවා.

අවුරුදු 70 ක් තිස්සෙ ප්‍රධාන පක්ෂ දෙක වරින්වර ආණ්ඩු කළත් ආර්ථිකය ගොඩගන්න බැරිවෙලා. ණය කන්දක රට හිරවෙලා. රට ගොඩගන්න නම් මේ ක්‍රමය වෙනස් කරලා බලන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා?

ඒක තනිකර මෝඩ කතාවක්. දුම අහසින් ඇවිල්ල පොළොවට වැටෙන්නෙ නැහැ. පොළොවේ තියෙන යථාර්ථය අනුව තමයි ක්‍රම සකස්වෙන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ ආදර්ශයට ගන්න හැම රටක්ම අන්ත බංකොළොත් වුණා. රුසියාව, නැගෙනහිර යුරෝපය අද කොමියුනිස්ට් රටවල්. මේ රටවල්වලට තමන්ගෙ රටේ මිනිසුන්ට කෑම ටිකවත් දෙන්න බැරිවුණා. විජේවීර කිව්වෙ තේ ගලවල මඤ්ඤොක්ක හිටවන්න කියලා. ඒක කළා නම් අද මොකද වෙන්නෙ. එහෙනම් මේ රටේ මිනිස්සුත් සාගින්නෙන් මැරෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයො හරි හොඳයි. ඒත් ඒ අයගෙ ප්‍රතිපත්ති 18 වැනි සියවසේ ඒවා. කියුබාව ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. උතුරු කොරියාව දකුණු කොරියාවෙ අත අල්ලගෙන යනවා. අමෙරිකන් ආධාර ප්‍රාර්ථනා කරනවා.

එට්කා, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම රටට අහිතකර බවත්, ඒ හරහා රටේ වෘත්තීය ක්ෂේත්‍රය දැඩි අනතුරකට ලක්වෙන බවත් කියනවා?

ඕක සම්පූර්ණ බොරු කතාවක්. අපේ රටට ආයෝජන ගේන්න ඕන. ලංකාව පුංචි රටක්. සම්පත් ඉතාම සීමිතයි. මිනිස්සු ජීවත් කරවන්න නම් ආයෝජන අවශ්‍යයි. ආයෝජන එපා නම් ණය ගන්න ඕන. මේ දෙකම එපානම් අපේ ජීවන වියදම අඩුකර ගන්න ඕන. ඔය කියන සටන්පාඨ යථාර්ථවාදී නැහැ. හැම ගිවිසුමකම තහනම් කරපු අංශ තියනවා. දියුණු රටවල වෘත්තිකයො ලංකාව වගේ පුංචි රටකට එයි කියලා හිතනවද? රස්සා කීයද ලංකාවෙ තියෙන්නෙ. ලෝකෙ රස්සාවල් කොච්චර තියෙනවද? මෙතන තියෙන්නෙ වෙන කතාවක්. දේශීය ධනපති ව්‍යාපාරිකයො, පිටින් අඩු මුදලට භාණ්ඩ ගෙනත් රටේ මිනිස්සුන්ට අඩු මුදලට දෙනවට විරුද්ධයි.

ඉතිහාසෙ කවරදාකටත් වඩා රුපියලේ අගය පහත වැටිලා. මේ හින්ද භාණ්ඩ මිල අඩු කරන්න බැහැ කියලයි කියන්නේ?

රුපියල අවපාත වුණා කියලා දේශීය භාණ්ඩවල මිල වෙනස්වෙන්න බැහැ‍ෙන්. පිට රටවලින් ‍ෙග්න භාණ්ඩවල මිල වැඩිවෙන එක තමයි මේකෙන් වෙන්නේ. පසුගිය ආණ්ඩුවල අපිත් හිටියනෙ. ඒ කාලෙ කළේ අපේ තියෙන ඉතිරිකිරීම් දාලා ඩොලර් එක අභව්‍ය විදියට රැකගත්තා. එතකොට අපේ විදේශ සංචිත සම්පූර්ණයෙන්ම ප්ලැට් වෙනවා. ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටට හොඳ දෙයකුත් නෙවෙයි.

ආණ්ඩුවෙ තුන් අවුරුද්ද ගැන සතුටුවෙන්න බැරි හින්දයි ආණ්ඩුවෙන් අයින් වුණේ කියලා ආණ්ඩුවෙන් අයින් වෙච්ච 16 දෙනා කියනවා?

ඒක ඒ අය හිතන දේනෙ. ඒ ගැන මට මුකුත් කියන්න බැහැ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න 1994 ඉඳලම මහජන කැමැත්ත දුන්නා. 2015 ජනවාරි 08 වෙනිදත් ඒ කැමැත්ත දුන්නා. ඒත් දැන් ප්‍රධාන පක්ෂ දෙකම ආයෙත් ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවාද?

බලය අඩු කරපු, ඒකාධිපති බලයක් නැති ජනාධිපති ක්‍රමයක් මේ රටේ තියෙන්න ඕන. ජනාධිපති කෙනෙක් හිටියම පරිපාලන දුර්වලතා හදාගන්න පුළුවන්. ජාති, ආගම්, කුල, පළාත් බේද නැතුව ජනතා ඡන්දයෙන් තෝරගන්න පුළුවන් ජනාධිපති විතරයි. ජනාධිපති තමයි මේ රටේ එකමුතුබවේ සංකේතය. බලය විමධ්‍යගත කරනකොට ඒ බලය යම් ප්‍රමාණයකට මධ්‍යගත කිරීමේ බලය ජනාධිපතිටයි තියෙන්නෙ. ඒ වෙනුවෙන් තමයි ආණ්ඩුකාරවරු පත්කරන්නේ. ඒ බලය තියෙන්නෙ ජනාධිපතිටයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන බව කියනවා. එහෙම ගෙනාවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද කරන්නේ?

ජනාධිපතිවරු කීපදෙනෙක්ම මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කිව්වත් ඒක ක‍ෙළ් නැහැ කියලා ඔබ කිව්ව. එහෙම නොකළේ ඒක ප්‍රායෝගික නැති හින්දයි. මේ රට බෙ‍දන්න ඉඩ දෙන්න බැරි හින්දයි පළාත්වල බලය තියෙනකොට මේ ජනාධිපති ක්‍රමය අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතයත් ඒකයි.

අල්ලස, දූෂණය නැති කරන්න ආපු ජනාධිපතිගෙ කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් ගනුදෙනුවකට අත්අඩංගුවට ගන්නවා. මේ ආණ්ඩුවෙත් හොරු ඉන්න බව නේද කියන්නේ?

මීට ඉස්සෙල්ලා එකම ජනාධිපති කෙනෙක්වත් එයාගෙ කාර්ය මණ්ඩල ප්‍රධානීන්ව හිරභාරයට ගන්න ඉඩ දුන්නෙ නැහැ. ඒ ගොල්ලොත් ඔය වැඩම කළා. ඒත් අපේ ජනාධිපති හොරු ආරක්ෂා කළේ නැහැ. අපි මේ ජනාධිපතිට ඒකට ලකුණු දෙන්න ඕන. ප්‍රශංසා කරන්න ඕනෑ. හැම පක්ෂයකම හිටපු ලොක්කො තමන්ගේ ගෝලයෝ හොරකම් කරනකොට ආරක්ෂා කළා. හැම ජනාධිපතිම තමන් ළඟ ඉන්න හොරු ආරක්ෂා කළා. මේ තමයි එහෙම නොකළ පළවෙනි අවස්ථාව.

අල්ලස් චෝදනාවට අහුවෙච්ච සභාපති ඉවත්කරලා පත්කරපු අලුත් සභාපතිටත් චෝදනා එල්ල වෙනවා?

ඒවා චෝදනාද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. ඒ නිසා මොකුත් කියන්න මට බැහැ.

ඉන්ධන මිල සූත්‍රය ගේන්න හදන්නෙ ලෝක බැංකුව සතුටු කරන්නයි. එහෙම නොවුණොත් ඉතිරි ණය වාරික ලැබෙන්නෙ නැහැ කියලයි කියන්නේ?

ඕක මෝඩ සටන් පාඨයක්. කොච්චර කල් ඉඳන් ඕක කියනවද? හැම ආණ්ඩුවක්ම ලෝක බැංකුවෙන් ණය ගත්තා. ඕක අලුත් සටන් පාඨයකුත් නෙවෙයි. ඉස්සර කොල්වින්ල, ඇන්. ඇම්ලා කිව්වෙත් ඕව. අඩුම ගානෙ අලුත් සටන් පාඨයක්වත් හදාගන්න බැරි කට්ටිය තමයි දැන් ඕව කියන්නෙ. I.M.F. එකෙත්, ලංකාවෙ මහ බැංකුවෙ, මුදල් අමාත්‍යාංශයේ, විරුද්ධ පක්ෂයට උපදෙස් දෙන්නෙත් අර්ථශාස්ත්‍රඥයෝ. ඔය හැමකෙනාම කියන්නෙ එක කතාව. ඕක ආර්ථික යථාර්ථය. දැන් ඕවට විරුද්ධ වෙන අයගෙ විසඳුම මොකක්ද? මහින්ද මහත්තය‍ෙග කාලෙත් මිල සූත්‍රයක් ගෙනාවා. ඒක ටික කාලයක් කරලා නැවැත්තුවා. I.M.F. කියන්නෙත් බැංකුවක්. ණයක් දෙනකොට බැංකුව මේ ණය ගෙවන්න පුළුවන්ද කියලා බලනවා. ඒක සාමාන්‍ය ක්‍රමයක්. කවුරුහරි බැංකුවකින් ණයක් ගන්න කොට ගෙවන්නෙ කොහොමද කියලා ඒ බැංකුව අහන්නෙ නැද්ද. I.M.F. එකත් ගෙවන්න පුළුවන්ද කියලා අපෙන් අහනවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් රටේ ඇතිකරගන්න කියලා කියනවා. මංගල සමරවීර ඇවිත් මේ සල්ලි ටික අරන් යන්න කියලා I.M.F. එක කියන්නෙ නැහැ. අපි ණය ඉල්ලන්නෙ නැත්නම් ඒ අය හරි කැමතියි.

කොහොම වුණත් ලංකාවෙ ණය බර එන්න එන්නම වැඩි වෙනවා. ?

මේක රා බෝතලෙන් ෂැම්පේන් බොන්න හදන රටක් කියලයි ෆීලික්ස් ඩයස් මහත්තයා කිව්වේ. ඒකෙ තේරුම තමයි අපේ ආදායම සීමිතයි, වියදම අතිවිශාලයි. දේශපාලන හේතු නිසා ආණ්ඩු ඒ වියදම කපන්න කැමැති නැහැ. ඒ හින්ද කොයි ආණ්ඩුවත් ණය අරගන්නවා. ණය නොගත්තොත් ජීවන වියදම වැඩිවෙනවා. එහෙම වුණොත් ආණ්ඩුවට මාස දෙකකට වඩා ඉන්න වෙන්නෙ නැහැ. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි තිබුණ හැම ආණ්ඩුවෙම තත්ත්වය ඕක. අපේ මේ තියෙන ආදායමෙන් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, සමෘද්ධිය, මේවා කරන්න බැහැ. දේශීය වත්කම වැඩි කරගන්න එක තමයි මේකට විසඳුම. ඒකටත් කොටසක් විරුද්ධයි. මොකක් හරි අලුත් ව්‍යාපෘතියක් ගෙනාවොත් ඒවට විරුද්ධ වෙන එක තමයි අපේ රටේ සංස්කෘතිය.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් හැටියට පළපුරුද්ද ඇති ඔබට විද්‍යානුකූල ඇමැති සංශෝධනයේදී ලැබුණු තැන ගැන මොකද කියන්නෙ?

මේ අමාත්‍යාංශය රටේ අනාගතය ගැන තීරණය ‍කරන එකක්. අපේ රට විද්‍යා හා තාක්ෂණයට නැඹුරු වුණේ නැත්නම් ඉදිරියට එන ලෝකයට අපේ අයට මුහුණදෙන්න බැරිවෙනවා. අනාගත පරපුර හදන අමාත්‍යාංශයක් හැටියට මම මේකට කැමතියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත්වෙන්න පක්ෂය තීරණය කළොත් ඔබේ ඇමැතිකමට මොකද වෙන්නේ?

තවම තීරණය කරලා නැහැනෙ.

ආණ්ඩුවෙන් ඉවත් වුණු 16 දෙනා කියන්නෙ මධ්‍යම කාරක සභාවෙ වැඩි බලය තියෙන්නෙ ඒ අයටයි. තව දින 06 කින් ඒ තීරණය ගන්නව කියලා?

මුහුද හත්ගව්වක් තියෙද්ද අමුඩ ගහන්න ඕන නැහැනේ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා, පාලම ගාවට ආවම තමයි ග‍ඟෙන් එගොඩ වෙන්නේ. පාලම පේනතෙක් මානෙ ඉඳලා ග‍ඟෙන් එගොඩවෙන ඒවා කතා කරලා වැඩක් නැහැනේ.-Lakehouse


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22