විපතට පත් ජනතාවට කඩිනම් සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එහිදී මූල්‍ය ප‍්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින් එම සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලු මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබාදී ඇතැයි සදහන්.
එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිවරයා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසට ද සියලු පාර්ශ්වයන් දැනුවත් කර තිබෙනවා.