විසිරවීමේ පෙත්සම් විසි කරන්න / නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපතිවරයා අද යළි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අඛණ්ඩව දෙවන දිනයටත් විභාගයට ගත් අවස්ථාවේදීයි.
එහිදී නීතිපතිවරයා කියා සිටියේ මෙම පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.
මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින්  ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බවට චෝදනා එල්ල කර තිබුණද ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතුබවයි නීතිපතිවරයා පෙන්වා දුන්නේ.ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද නීතිපතිවරයා අවධාරණය කර තිබෙනවා.