ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරය හතුරුසිංහට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු සංචාරයයි.

බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම පුහුණුකරු ලෙස සැළකෙන ඔහු පසුගිය නොවම්බර් මාසයේ එම තනතුරින් ඉල්ලා අස් වුණා.
මීට පෙර චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරය දැරූ අතර 2010 වසරේදී ඔහු ක්‍රීඩකයින්ගේද විරෝධය නොතකා ඉවත් කිරීමටයි නිලධාරීන් පියවර ගෙන තිබුණේ.