ශ්‍රී ලංකා ක්‍රිකට් රෙදි ගලවන තවත් පාවාදීමක් /ICC පරීක්ෂණ අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ක්‍රියාත්මක වන තරග පාවාදීම් ඇතුලු වංචාවන් පිළිබද අල්ජසීරා රූපවාහිනී නාලිකාව අනාවරණ කර තිබෙනවා.
ඒ විශේෂ වාර්තා වැඩසටහනක් හරහායි.
පසුගිය වසරේ ජූලි මාසයේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී පැවැති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරගයකදී හා 2016 වසරේ අගෝස්තු මාසයේදී ලංකාව හා ඔස්ටේ්‍රලියාව අතර එම පිටියේදීම පැවැති තරගයකදී මෙම අවාසනාවන්ත තත්ත්වය සිදුව ඇති බවයි අනාවරණ කරනු ලබන්නේ.
එසේම මෙහිදී අනාවරණ වී ඇත්තේ ලබන නොවැම්බර් මාසයේදී ගාල්ල පිටියේදී පැවැත්වෙන එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේදීත් මෙවන්ම තත්ත්වයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ඇති බවයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොබින් මොරිස් විසින් හෙළිකර ඇත්තේ මේ සදහා ගාල්ල ක්‍රිඩාංගනයේ භාරකරුට හා සේවකයින්ට අල්ලස් ලබාදී ඇති බවයි.
මෙම වීඩියෝ දර්ශනයේදී ගාල්ල ක්‍රීඩාංගනයේ අතිරේක කළමනාකරු තරංග ඉන්දික පවසන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට පන්දු යවන්නන් හෝ පිතිකරුවන් වෙනුවෙන් තනතිල්ල නිර්මාණය කර දිය හැකි බවයි.
තරග පාවාදීම අපේක්ෂා කරන්නාට අවශ්‍ය වේග පන්දු යවන්නන්ට අවශ්‍ය තනතිල්ලක්ද / දග පන්දු යවන්නන්ට අවශ්‍ය හෝ පිතිකරුවන්ට අවශ්‍ය තනතිල්ලක්ද යන්න ඔහු එහිදී විමසනු ලබනවා.
මෙම රහසිගත හමුව ගාල්ලේ හෝටලයක් තුලදී පවත්වා ඇති අතර එහි දර්ශන අල් ජසීරා නාලිකාව සතුවයි පවතින්නේ.
මේ අතර මෙසේ අල්ලස් ලබාගනිමින් ලංකාව හා ඔස්ටේ්‍රලියාව අතර ටෙස්ට් තරගයේදී දග පන්දු යවන්නන්ට උචිත තනතිල්ලක් නිර්මාණය කිරීම හේතුවෙන් එම තරගය දින දෙකහමාරකින් නිමාවී තිබුණා.
ඒ ප්‍රබල ඔස්ටේ්‍රලියාව පලමු ඉනිමේදී හා දෙවන ඉනිමේදී ලකුණු 200කට අඩු ප්‍රමාණයකට සීමා කරමින්.
මේ අතර ඉන්දියාව හා ලංකාව අතර තරගයේදී පිතිකරුවන්ට උචිත තනතිල්ලක් නිර්මාණය කිරීම සදහාද මෙම ජාවාරම්කරුවන් මුදල් ලබාගෙන තිබෙනවා.
එහිදී ලංකාව පරාජයට පත්වූ අතර ඉන්දිය පිතිකරුවන් මුල් ඉනිමේදී ලකුණු 600ක් ඉක්මවා තිබුණා.
මේ අතර ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරගයක් දින 4කින් නිමා කළ හැකිදැයි තරග පාවා දීමට අනුබල දෙන්නා ගාල්ල ක්‍රීඩාංගනයේ අතිරේක කළමනාකරු තරංග ඉන්දිකගෙන් විමසන අතර ඔහු පවසන්නේ තරගය දින දෙකහමාරකින් අවසන් කළ හැකි බවයි.
මෙම අවස්ථාවට අල් ජසීරා මාධ්‍යවේදීන් සම්බන්ධවී ඇත්තේ විදෙස් සංචාරකයින් ලෙස හගවමිනුයි.
මෙම තත්ත්වය පිළිබද අයි සී සී ය මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයද පවසන්නේ මේ පිළිබද දැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

පසුගිය සමයේ පානදුර කා කළුතර ක්‍රීඩා සමාජ අතර තරගයකදීත් මෙවන් පාවාදීමක් සිදුවූ අතර එහිදී දඩුවමට ලක්වූයේ සිද්ධියට සම්බන්ධ නොවූ ක්‍රීඩකයින් පමණයි.
ඊට සෘජුවම සම්බන්ධ බවට චෝදනා ලැබූ නිලධාරීන් මේ වන විටත් ක්‍රීකට් ආයතනයේ ප්‍රබලයින්ගේ රැකවරණ මත එහි තනතුරු දරන බවටයි චෝදනා එල්ලවන්නේ.
මේ පිළිබද පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ආණ්ඩුව විසින් නොව ක්‍රිකට් බලධාරීන් විසින්ම වීම හෙළිකරන් ලබන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමේ න්‍යායයි.
මේ පිළිබද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය රනිජන් රාමනායක මහතා පවසන්නේ බුකිකරුවන් විසින් පාලනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයක් තුල මෙවන් තරග පාවාදීම් සිදුවීම වැලැක්විය නොහැකි බවයි.

මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම ශ්‍රී ලංකාවද අපකීර්තියට පත් කරමින් පකිස්ථාන මාධ්‍යවේදිනියකට අසභ්‍ය පණිවිඩ යැවූ බව කියන මාධ්‍යවේදියකු සම්බන්ධ සිද්ධියද යට ගසනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුම මත බවට චෝදනා එල්ලවනවා.
ඒ අදාළ පුද්ගලයින් අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල කිරීම හේතුවෙන් බවයි දැක්වෙන්නේ.
ඒ අනුව හදුනාගත හැකිවන්නේ පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය තුල විනය මෙන්ම ක්‍රිඩාවේ දක්ෂතාවයන්ද බිදවැටී ඇති බවයි.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.