ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගෙන් ක්‍රිකට් ලෝක වාර්තාවක්

වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරග බිමේ ඉහළම ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩ සමත් විය. නවසීලන්තයේ පැවැත්වෙන වයස 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ කෙන්යාවට එරෙහිව පැවැති තරගයේදීය. ඔහු ලකුණු 191ක් රැස්කිරීමට සමත්විය. හසිත බෝයගොඩ මහනුවර ත්‍රිත්ව විදුහලේ සිසුවෙකි.

වයස 19න් පහළ තරග එක්දින ක්‍රිකට් පිටියේ මීට පෙර ඉහළම ඉනිම (ලකුණු 180) නවසීලන්ත කණ්ඩායමේ ජේකම් බූලා විසින් ක්‍රීඩාකර තිබූ අතර, ඔහුද මෙම තරගාවලියේම මූලික වටයේ පැවැති තරගයකදී කෙන්යාවට එරෙහිවම ක්‍රීඩා කිරීම සුවිශේෂී වෙයි.

මීට පෙර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙකු ක්‍රීඩාකර තිබූ ඉහළම ඉනිම වූයේ 2009 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව භානුක රාජපක්‍ෂ නොදැවී රැස්කර තිබූ ලකුණු 154යි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ශූරතා වටයෙන් ඉවත්ව ඇති අතර, තරගාවලියේ 09 වැනි ස්ථානය වෙනුවෙන් පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී  බෝයගෝඩ මෙම ඉනිම ක්‍රියාත්මක කෙරිණි.

මෙහිදී ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී කඩුලු 04ක් දැවී ලකුණු 419ක් රැස්කිරීමට සමත්වූ අතර, එය 19න් පහළ එක්දින කණ්ඩායමක් ක්‍රීඩාකළ 04 වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි. මෙහි ඉහළම ඉනිම කෙන්යාවට එරෙහිව ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ක්‍රීඩාකර තිබේ.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කෙන්යානු කණ්ඩායමට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108ක් පමණක් වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 311ක දැවැන්ත ජයක් හිමිවිය.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.21