සමෘද්ධිය ලබාදීමේදී අසාධාරණයකට ලක්වූ පවුල් ලක්ෂ 8 ක් ගැන රජයේ අවධානය

සමෘද්ධි සහනාධාරය හිමිවිය යුතු එහෙත් පසුගිය දශක දෙක තුල එය ලබාදී නොමැති පිරිස් සදහා එම සහනාධාරය කඩිනමින් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා ලංකා ඒ නිවුස් වෙත ප්‍රකාශ කළේ ඒ අනුව අසාධාරණයට ලක්වූ පවුල් ලක්ෂ 5ත් ලක්ෂ 8ත් අතර පිරිසක් දැනටමත් රජය විසින් මහදුනාගෙන සිටින බවයි.
සමෘද්ධි සහනාධාරය ලබාදීම පසුගිය දශක දෙක තුල දේශපාලනීකරණයවී තිබූ බැවින් එය හිමිවිය යුතු සුදුසුකම් සහිත පවුල් විශාල ප්‍රමාණයකට එම සහනාධාරය හිමිව නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව පසුගිය සමයේ දේශපාලන වාසි අපේක්ෂාවෙන් එම සහනාධාරය දේශපාලන හිතවතුන්ට පමණක් ලබාදී ඇති බවද හෙළිව තිබෙනවා.
ඒ අනුව සුදුසුකම් සහිත සියලු දෙනාට සාධාරණය ඉටු කිරීමේ අරමුණින් මෙසේ හදුනාගනු ලැබූ පවුල් සදහා එම සහනාධාරය පිරිනමන බවයි ජේ සී අලවතුවල මහතා සදහන් කළේ.
මේ අනුව දශක 2ක් පුරා අසාධාරණයකට ලක්ව සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සාධාරණය ඉටුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
මෙරට අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාවට නැංවෙනවා.
එහිදී කිසිදු දේශපාලන භේදයකින් තොරව අඩු ආදායම්ලාභී ජනතාවට සාධාරණය ඉටු කිරීම ආණ්ඩුවේ වගකීම ලෙස අග්‍රාමාත්‍යවරයා හදුනාගෙන ඇති බවද ජේ සී අලවතුවල මහතා සදහන් කරනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22