සයිටම් විසදුම එපා / ජවිපෙන් නිවේදනයක්

සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය නිකුත් කළ යෝජනා ලියවිල්ල ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ ප්‍රකාශ කරන්නේ මෙය සයිටම් ආයතනයේ නම වෙනස් කර එය පවත්වාගෙන යාමේ උත්සාහයක් බවයි. මේ එම නිවේදනයයි.

දැනට රට තුළ මහත් ආන්දෝලනයකට ලක්වී තිඛෙන සයිටම් ආයතනය පිළිබඳ ගැටලූව විසඳීම සඳහා ආණ්ඩුව විසින් තම අවසන් විසඳුම යැයි පවසමින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය පදනම් කර ගනිමින් ආණ්ඩුව පවසන්නේ සයිටම් ආයතනය වසා දමා ප්‍රශ්නයට විසඳුමක් ලබාදුන් බවය.
පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ බලධාරීන් ප්‍රකාශ කරමින් සිටියේ, කිසිසේත් සයිටම් අහෝසි නොකරන බවයි. දැන් මෙම යෝජනාවලිය මගින් සයිටම් අහෝසි කළ යුතු බව ආණ්ඩුව විසින් පළමුවරට පිළිගනු ලැබ තිබේ. එය සයිටම් අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ සියලූ දෙනා ලැබූ ජයග්‍රහණයකි. එහෙත් සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකරන තිඛෙන්නේ, එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන යාමට උපක්‍රමයක් යොදාගැනීම හා ඒ මගින් මුළුමහත් රටම රැවටීමට උත්සහ කිරීමය.
ආණ්ඩුවේ යෝජනාවලිය අනුව සයිටම් ආයතනයේ නම වෙනස්වීමට නියමිතය. එමෙන්ම සයිටම් ආයතනයේ පුද්ගලික හිමිකාරිත්වය වෙනස්වීමට නියමිතය. නමුත් සිසුන්ට වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වෙනස් නොවේ. පසුගිය කාලයේ ජනතාවගේ, ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ, වෛද්‍ය පීඨ දෙමාපියන් හා ආචාර්යවරුන්ගේ මූලික ඉල්ලීම වූයේ, වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වහා නතර කර සයිටම් ආයතනය අහෝසි කරනු යන්නය. නමුත් ආණ්ඩුව ඊයේ(29) දින ප්‍රකාශයට පත්කළ විසඳුමෙන් ඉදිරිපත් කරනුයේ සයිටම් ආයතනය අහෝසි කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කර දැමීම නොවේ. ඒ වෙනුවට සයිටම් ආයතනයේ නම පමණක් වෙනස් කොට වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ කටයුත්ත නව හිමිකාරිත්වයකට පවරා දීමක් පමණි. එම වංචනික කටයුත්ත වසන් කිරීම සඳහා සයිටම් ආයතනයේ නම හා හිමිකාරිත්වය වෙනස් කිරීමත් දුප්පත් සිසුන් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදෙන බව පැවසීමත් කූට ලෙස යොදා ගනී.
කෙසේ වුවද සයිටම් ආයතනය නාමිකව හෝ අහෝසි කරන බව පැවසීමට ආණ්ඩුවට සිදුවීම සයිටම් සටනේ ඉදිරි පියවරක් ලෙස දකින අපි අවම වශයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන් විසින් මෑතකදී සයිටම් අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලිය තුළ වූ යෝජනා හෝ සැලකිල්ලට ගෙන වෛද්‍ය උපාධිය මුදලට විකිණීම වහා නතර කර සයිටම් ආයතනය සැබෑ ලෙසම අහෝසි කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටිමු.
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial