සරත් එන්ද සිල්වාගේ පෙත්සම විසි වෙයි

හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීමෙන් පසුවයි නියෝගය නිකුත් කෙරුණේ.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.

තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, තම පෙත්සමෙන් සඳහන් කර තිබුනේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත  ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන බවයි.

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අදාළ පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එය අධිකරණ හමුවේ ප්‍රශ්න කළ නොහැකි බවට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *