සහන මිලට ගොවීන්ට පොහොර අද මැදියමේ සිට

මෙවර යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් වගාවන් සඳහාසහනාධාර මත පොහොර බෙදා හැරීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසනවා.

මේ අනුව යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 500 බැගින් වී ගොවීන්ට ලබාදෙනු ඇති. අනෙකුත් බෝග වර්ග සඳහා සහන පොහොර ලබාදෙන්නේ කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 1500 බැගින් බවත් රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සදහන් කළා.

මෙම සහන පොහොර බෙදා හරිනු ලබන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ගබඩා සහ ගොවි සංවිධාන විසින් අලෙවිකරනු ලබන වෙනත් ස්ථාන මගිනි.

සහන පොහොර ලබාගත හැක්කේ හෙක්ටයාර් 2ක උපරිමයට යටත්ව වී වගා කරන ගොවීන්ටයි.ඔවුන් වී වගාව සඳහා පිදුරු හෝ කාබනික පොහොර භාවිතා කරන බව තහවුරු කළ යුතු අතර වී ගොවිතැන කරන කුඹුරු ඉඩම් පිහිටි ප්‍රදේශයට අදාළ ගොවි සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබිය යුතු වනවා.