You are here
Home > බුදුදහම හා මතවාද > සාර්ථක ජීවිතයකට මඟ සීලයෙහි හික්මීමයි

සාර්ථක ජීවිතයකට මඟ සීලයෙහි හික්මීමයි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියලු සත්ත්වයාට දුකින් නිදහස්වීම අරමුණු කොට දේශනා කරන ලද්දකි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ධර්මතා සතරට උපදින සෑම සත්ත්වයකු ම ගොදුරුවීම සනාතන ධර්මයක් ව පවතින හෙයින් මෙම ධර්මතා හතරෙන් සදහටම නිදහස් වීම සඳහා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වූ සේක. දුකින් නිදහස් වනු පිණිස උතුම් ආර්යය මාර්ගය ප්‍රගුණ කරන පිරිසට, ගෘහස්ථ ජීවිතය තුළ දී වඩා උතුම් ජීවිතයක් ගත කරන පිරිසට, නිවන් මඟට බාධාවක් නො වන පිණිස ජීවිත ගත කරන පිරිසට උන්වහන්සේ මඟ පෙන්වූහ.

සම්මා ආජීව මත පදනම් වූ ජීවිතයක් ගත කරන ගිහියාට බ්‍රහ්මචාරී දිවි පෙවෙත හෙවත් උතුම් ප්‍රතිපදාවට ඇතුළු වීමට ශක්තියක් නොවේ නම්, වැරැදි කාම සේවනයෙන් වැළකී ගෘහස්ථ කාම භෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇති බව ධර්මයේ සඳහන් වේ. නිවැරැදි යුග ජීවිතයක් අපේක්ෂා කරන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම අධ්‍යාත්මික වශයෙන් සමාන බවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය අංගයක් බව බුදුදහම වෙත අවධානය යොමු කිරීමෙන් පැහැදිලි ය. ඒ අනුව ‘නකුල පිතු’ සූත්‍රය තුළ අවධාරණය කර ඇත්තේ සම ශ්‍රද්ධා, සම සීල, සම චාග, සම ප්‍රඥා යන සතර අංග යුග ජීවිතය ගත කරන පිරිස තුළ ගොඩනඟා ගත යුතු බවයි.

තනිව හැසිරෙන සිත කිසි කලෙකවත් තව සිතක් සමඟ එකතු කළ නො හැකි ය. එකිනෙකාගේ මනසෙහි ගොඩනැඟෙන යහපත් බව තුළ වෙනස් වූ චිත්ත ස්වරූපයන්ගෙන් වුවද එක්ව ජීවත් වීමට පදනමක් සකසා ගත හැකි ය. ඒ අනුව යුග දිවිය ගත කරන දෙදෙනා ම තුනුරුවන් පිළිබඳව, පින, පව පිළිබඳව, සංසාර ගමන පිළිබඳව, හේතුඵල ධර්මය පිළිබඳව විශ්වාසයක් හෙවත් ශ්‍රද්ධාවක්, අවබෝධයක් ඇති කර ගන්නේ නම්, එදිනෙදා ජීවිතයේ ඔවුන් දෙදෙනා මුහුණ දෙන අභියෝගයන්ට මුහුණ දීමට එය පදනමක් වනු ඇත. මෙහිදී තුනුරුවන් ඇතුළු කොට ඉහත අංග කෙරෙහි ඇති ශ්‍රද්ධාව මෙන්ම යුග දිවිය ගත කරන දෙදෙනා එකිනෙකා පිළිබඳව අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව දියුණු කරගැනීම ද, අත්‍යවශ්‍ය බව මෙහි දී සිහිපත් කරමි.

නිරතුරුව දහම් පොතපත කියවීමෙන්, සුදුසු කල්හි දහම් ශ්‍රවණයෙන් (කාලේන ධම්ම සවණං) සුදුසු කල්හි දහම් සාකච්ඡාවෙන් (කාලෙන ධම්ම සාකච්ඡා) ගෘහස්ථ පුද්ගලයාට ශ්‍රද්ධා චෛතසිකය දියුණු කර ගැනීමට අවස්ථාව උදා වේ. එමෙන් ම අපරිහානීය ධර්මයන් හි වදාළ අයුරින් නිතර නිතර සමගියෙන් රැස්වන, සමගියෙන් සාකච්ඡා කරන, සමගියෙන් විසිර යන යුවතිපතීන්ට එකිනෙකා පිළිබඳව විශ්වාසය, ශ්‍රද්ධාව ගොඩනඟා ගැනීම දුෂ්කර නොවනු ඇත.

එමෙන් ම ගෘහස්ථ දිවි ගෙවන ඇය නිරතුරුව ම තම මනසෙහි පවතින අකුසලය සඳහා වූ කැමැත්ත නැති කර ගත යුතු ය. පරපණ නැසීමට, අන්සතු දේ ගැනීමට, වැරැදි කාම සේවනයට, අනෙකා රැවටීමට පෙළඹවීම් ඇති කරන චෛතසික ධර්මයන් අනිවාර්යයෙන් ම චිත්ත සන්තානයෙහි පවතී. එවැනි චෛතසික ධර්මයන්ට යටත් වී කායික මානසික ක්‍රියාවන්ට නො පෙළඹීමට, වරදකාරී හැසිරීම්වල නො යෙදීමට වීර්යයක් පවත්වා ගත යුතු ය. එලෙස විර්යය පවත්වා ගැනීම සීල සම්පන්න වීම ලෙස සඳහන් කළ හැකි ය. ගෘහස්ථ ජීවිතයක් ගෙවන දෙදෙනා ම එක හා සමානව තම මනස සීලයෙන් හික්මවන්නේ නම් එහි අලුත් අර්බුද ඇතිවීම වැළැක්විය හැකි සේ ම පවතින අර්බුද තවදුරටත් වර්ධනය වීම වළකා ගත හැකිවනු ඇත. ඔවුන්ගේ සීලය ගොඩනඟා ගත යුතු වන්නේ හෘදය සාක්ෂියට එකඟව කටයුතු කිරීමෙනි. එය නිවන පිණිස ද උපකාරීවන ධර්මයකි.

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන සංවර්ධනය කර ගැනීමට දෙදෙනාම සම සීල ගුණය ප්‍රගුණ කිරීම තුළ අවකාශය උදා වේ. යුග ජීවිතයට ඇතුල්වන දෙදෙනෙකුට කිසි ලෙසකින්වත් දෙ සිතක් එක සිතක් බවට පරිවර්තනය කළ නො හැකි බව මෙහි ආරම්භයේ දී ම සඳහන් කළෙමි.

‘දුරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං’

යනුවෙන් සිත ගැන වදාළ සම්බුද්ධ දේශනාව අප ඉහත දැක් වූ අදහස සනාථ කරයි. එවැනි සිත් ඇති යුවතිපතීන් එකිනෙකා සමඟ ජීවිතය සාර්ථක කර ගනු පිණිස සම චාග හෙවත් පරිත්‍යාගශීලී වීම, කැපවීම, අත්හැරීම, ප්‍රගුණ කළ යුතුම ය. එකිනෙකා එක්ව විසුවා වුවද නිවන අරමුණු කරගත් ගිහියා එක්ව වාසය කරන අතර ම අත් හැරීම ද ප්‍රගුණ කළ යුතු ය. අත්හැරීම ප්‍රගුණ කරන්නා තුළ, කැපවීම සිදු කරන්නා තුළ ඉවසීම, දරා ගැනීම, අනුකම්පා කිරීම ආදී බොහෝ ගුණ වර්ධනය වේ.

එකිනෙකා වෙනුවෙන් කැපවිය යුතු සේ ම එකිනෙකාගේ ඥාතීන් වෙනුවෙන් කැපවීම් සිදු කිරීම ද, පරිත්‍යාගයන් සිදු කිරීම ද ගෘහස්ථ අර්බුද සමථයකට පත්කරගනු පිණිස උපකාරවත් වේ. සෑම මොහොතක ම යුවතිපති දෙදෙන කල්පනා කළ යුතු තමාගේ අන්තයෙන් අත් හරින විට ගෘහස්ථ ජීවිතයේ සැනසිල්ල ආරම්භ වන බවයි. අනෙක තමා වෙත බිය කරගන්නට යටත් කර ගන්නට කල්පනා කළහොත් එය ගැටුමට මුලක් වීම නො අනුමාන ය. එබැවින් එකිනෙකා සමඟ ජීවත් වීමට හොඳම ක්‍රමය දෙදෙනාම තෝරා ගත යුතු ය. ඒ එකිනෙකා තෘෂ්ණාවෙන් යටත්කර ගැනීම වෙනුවට, තමන්ගේ පැත්තෙන් දැඩිව බලාපොරොත්තුවීම පියවරෙන් පියවර අත්හැරීම යි. එවිට ආදරය මෛත්‍රීය බවට පත්වනු ඇත. තණ්හාව අත් හැරීම බවට පත්වනු ඇත. ජීවිතයේ යථා ස්වභාවය නම් මොන තරම් ‘අවංක වූත්, මොන තරම් යහපත් වූත් බැඳීමක් වුවද ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට භාජනය වීම යි. බැඳීමක් උපන්නේ නම්, බිඳ වැටීමද, වෙනස් වීම ද, පරිවර්තනයන්ට ලක් වීම ද, බැඳීමටම උරුම ධර්මයන් ලෙස යුගදිවි ගත කරන අය අවබෝධ කර ගත යුතු ය. නිත්‍ය වූ, ආත්ම වූ, සැපයක් ලෙස ම සැලකිය හැකි වූ කිසිදු කාමයක් මේ විශ්වයෙහි කවර කාලයක හෝ දැකිය නො හැකි ය. කාමය වූ කලී ආස්වාදය ද, ආදීනවය ද මිශ්‍ර වූවකි. එබැවින් ඒ පිළිබඳ ව ගැඹුරු අවබෝධයකින්, ප්‍රඥාවකින් යුතු ව පංච කාමය භුක්ති විඳීමෙහි නියැළෙන්නා සිතිය යුතුම ය.

ප්‍රඥාවන්තව යුග දිවියක් ගත කරන අය කළ යුතු එකිනෙකාගේ වෙනස් ම වූ අනන්‍යතාවයන් අවබෝධ කර ගනිමින් ගරු කිරීමත්, අනතිමානී වීමත්, ලද දෙයින් සතුටු වීමත් ය. (ගාරවොච නිවාතොච සන්තුට්ඨිච)

සමස්තයක් ලෙස ඉහත කරුණු හතරම තම ජීවිතයේ පදනම බවට පත් කර ගතහොත් එවැනි දර්ශනයක් සහිත ව, ප්‍රතිපත්තියක් සහිතව දිවි ගෙවන අය සංවාස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලැබුවේ දෙවියෙක් දෙවඟනක හා ගෙවන ජීවිතයක් ලෙස ය. (දේවො දේවියා සද්ධිං සංවසති)

එවැනි ජීවිතයක් අවසන එකිනෙකා ඊළඟ භවයේ දී ද හමුවිය යුතු යැයි ප්‍රාර්ථනා කළහොත් එවැනි හමුවීමක් සඳහා වුවද අවකාශය ඇති බව නකුල පියතුමා සහ නකුල මව් අමතා සිදුකළ දේශනාවෙන් සනාථ කරගත හැකි ය.

සාර්ථක ගෘහ ජීවිතයක ඊළඟ අපේක්ෂාව විය යුතු යුවතිපතීන් මවුපියන් බවට පත් වී දූ දරුවන් බිහි කිරීමයි. සංයුක්ත නිකායෙහි එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ හමු වී ගිහි, මනුස්සයාට වටිනාම වස්තුව කුමක්දැයි විමසී ය. එවිට ‘පුත්ථා වත්ථු මනුස්සානං’ යනුවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයකු ලෙස දිවි ගෙවන්නේ නම්, වටිනාම වස්තුව දරුවන් බව අවධාරණය කළහ. පවුලක දරුවන් වැඩිවනවිට මවුපිය දෙපළට නිවස තුළම බ්‍රහ්ම විහාර භාවනා ප්‍රගුණ කිරීමට ප්‍රායෝගික අවස්ථාව උදාවේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන උතුම් බ්‍රහ්ම විහාරයන් ජීවිතයෙහි ප්‍රගුණ කරමින් තම දරුවන් සමඟ නිවන අරමුණු කර ගත් ජීවිතයක් ගෙවීමට මවුපියන් උත්සුක විය යුතු ය. දරුවන් හදා වඩා ගැනීමේ දී

පාපා නිවාරෙන්ති – පවින් වළක්වා ගැනීම ද,
කල්‍යාණෙ නිවෙසෙන්ති – යහපතෙහි යෙදවීම ද,

ශික්ඛං ශික්ඛාපෙන්ති – හොඳින් ඉගැන්වීම ද යන යුතුකම් තුන මවුපියන් අනිවාර්යයෙන් ම ඉටුකළ යුතු ය. කිසිවිටෙකත් දරුවන් සෙසු දරුවන් සමඟ ඊර්ෂ්‍යාකාරීව, කෝපය, වෛරය සහිතව ඉහළට ම ගැනීමට කටයුතු නො කළ යුතු ය. සුළු ගැටුම් ඇති වුවද තරහව, ක්‍රෝධය වැනි සිතිවිලි ඉවත්කර දැමිය යුතු බව දරුවන්ට නිතර අවධාරණය කළ යුතු ය. දරුවන් වෙනුවෙන් මවුපියන් කිසිදු පවක් නො කළ යුතු ය. දරුවන් ඉපදුණු විට කිසි ලෙසකින්වත් ස්වාමියා හා බිරිය අතර ආදරය, ගෞරවය, සෙනෙහස අහිමි නො කරගත යුතු ය. දරුවන් තම ජීවිතයට අතරමඟ දී මුණ ගැසී ඉතා කෙටි කලක දී ඔවුන්ගේ ම ජීවිත වෙත ගමන් කරන බව අවබෝධ කර ගනිමින් දරුවන් සදාකල්හි ම තම වසඟයෙහි ම නො සිටිනා බව වටහා ගනිමින් දෙදෙනා ම එක්ව දරුවන්ගේ දියුණුව, යහපත, අධ්‍යාත්මිකව සහ භෞතික ව සලසා දීමට උත්සුක වන්න. එකිනෙකා තම තමන්ගේ විමුක්තිය, අධ්‍යාත්මික දියුණුව උදෙසා සිදු කරන කිසිදු ක්‍රියාවක් දරුවන් නිසාවත් මඟ නො හැරිය යුතු බව ද සිහිපත් කරමි.

හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

Top