සැබෑ ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නැයි ඉල්ලීමක්

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පිළිබද මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණද ඒ හරහා වැටුප් වැඩිකිරීම මග හැර යාමක් සිදුවන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් එම මධ්‍යස්ථානයේ සභාපති කේ ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ ජීවන වියදමට සරිලන සේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකරන්නේ නම් ඒ වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවයි.
මේ එම සම්පූර්ණ ලිපියයි.

ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය,
මංගල සමරවීර මැතිතුමා,
මුදල් හා ජනමධ්‍ය අමාත්‍යාංශය,
කොළඹ 01.

ගරු ඇමතිතුමනි,

රාජ්‍ය සේවකයින් මුලා නොකොට වහාම රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න

රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500/= සිට 10000/= දක්වා උපරීමයට යටත්ව 2019.01.01 සිට වැඩි වන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව 2015 ජනවාරි මාසයට සාපේක්‍ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප 85% කින් වැඩි වූ බවත්, රාජ්‍ය සේවක අවම වැටුප 11730/= සිට 21745/= දක්වා ඉහල දමා ඇති බවත් ඉහල නිලධාරීන්ගේ වැටුප රුපියල් 50000 කින් වැඩි වී ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

වැඩි වන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩිකර ගැනීමට සටනක් ආරම්භකර ඇති මේ මොහොතේ, එම සටන් මොට කිරීම සඳහාත් රාජ්‍ය සේවකයින් තවත් වටයකින් මුලා කිරීම අරමුණු කරගෙන මුදල් අමාත්‍යාංශය මේ ප‍්‍රකාශය නිකුත්කර ඇති බව ඉතා පැහැදිලිය.

එවකට පැවති ජීවන වියදමේ වැඩිවීමට අනුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති ගෙන ගිය සටනේ ප‍්‍රතිඵලයක් ලෙස 2015 වසරේ රාජ්‍ය සේවක වැටුපට එල්ලා රුපියල් 10000/= ක විශේෂ දීමනාවක් ගෙවන ලදි. ඉන් අනතුරුව එම මුදල මූලික වැටුපට එකතුකර ගෙවන ලෙස වෘත්තීය සමිති ගෙනගිය සටනේ ප‍්‍රතිඵලයක් ලෙස 03/2016 රා.ප. චක‍්‍රලේඛය නිකුත් කළ අතර, ඒ අනුව 2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා රුපියල් 2500/= ක අවමයකට යටත්ව වසර 5 ක් තුල එම රුපියල් 10000/= ක මුදල වර්ෂයක් පාසා මුලික වැටුපට එකතුකර ගෙවන ලදි. ඒ අනුව ආණ්ඩුවක් හෝ මුදල් අමාත්‍යවරයෙක් නොමැති වුවත්, රුපියල් 2500/= ක අවම මුදලක් 2019.01.01 සිට රාජ්‍ය සේවකයාගේ මූලික වැටුපට එකතු වේ.

තත්වය මෙසේ තිබියදී තව දුරටත් රාජ්‍ය සේවකයා ඇන්දවීමේ අරමුණින් නිවේදන නිකුත් කිරීම නොදැන කරන්නාක් නොව, වැටුප් වැඩි කිරීමක් කළ යුතු අවස්ථාවක එය මගහැර යාමක් බවද පෙන්වා දෙමු.

2018 නොවැම්බර් මස වන විට ජීවන වියදමේ වැඩිවීම 127.4 කි. ජීවන වියදම් ඒකකයක වටිනාකම රුපියල් 321 ක් ලෙස ආණ්ඩුව ගණන් බලා ඇත. ඒ අනුව පවුලකට ජීවත්වීම සඳහා මාසයකට රුපියල් 40895.4 ක මුදලක් අවශ්‍ය වේ. නමුත් රාජ්‍ය සේවක අවම වැටුප 2019.01.01 දිනට රුපියල් 21746/= කි. ඒ අනුව ඉදිරි අයxවැයෙන් 2019.01.01 සිට කි‍්‍රයාත්මක වන පරිදි රාජ්‍ය සේවක වැටුප වැඩි කළ යුතුය. එමෙන්ම අනිකුත් සියළු ජනතාවගේ ආදායම් තත්වය වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව පෙන්වා දෙන අතර, එසේ නොකරන්නේ නම් අයිතීන් දිනා ගැනීම සඳහා වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද අවධාරණය කර සිටිමු.

ස්තූතියි,
මෙයට,
කේ.ඞී.ලාල්කාන්ත
සභාපති

W3Schools