You are here
Home > ගොසිප් > සියවසේ හමුව සාර්ථකයි /ට්‍රම්ප් – කිම් සතුටින්

සියවසේ හමුව සාර්ථකයි /ට්‍රම්ප් – කිම් සතුටින්

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී මේපැවැත්වුණා.

සිංගප්පූරු වේලාවෙන් පෙ.ව. 9.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.7.00ට) මූලික සාකච්ඡා වටය ආරම්භ වූයේ නායක දෙපළ අතර ඓතිහාසික අතට අත දීමකින් එකිනෙකාට සුබපතා ගැනීමෙන් අනතුරුවයි.

මෙම මූලික සාකච්ඡා වටය ඇමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු ජනපතිවරයා අතර පෞද්ගලික සාකච්ඡාවක් ලෙස පැවැත්වුණු අතර, ඒ සඳහා සහභාගී වී තිබුණේ ඔවුන් දෙදෙනාගේ භාෂා පරිවර්ථකයන් පමණක් වුණා.

මෙම මූලික හමුවට සහභාගී වීම සඳහා නායක දෙපළ කැපෙල්ලා හෝටලයේ අදාළ සාකච්ඡා කාමරය වෙත සිනහමුසු මුහුණින් ගමන් කරන ආකාරය විදෙස් වාර්තාවල දැක්වුණා.

මෙම සාකච්ඡා වටය කෙටි වේලාවකට සීමා වූ අතර, සාකච්ඡාව නිම වී නායක දෙපළ පිටතට පැමිණෙන විට උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ මුහුණේ පැහැදිලි සිනහවක් පැවැති බවයි දැකගැනීමට ලැබුණේ.

එහි රැඳී සිටි මාධ්‍යවේදීන් “මිස්ටර් කිම්… ඔබ න්‍යෂ්ටික අවි අත්හරිනවා දැයි” කිම්ගෙන් අසා සිටියත් ඒ අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත පිළිතුරු ලබාදීමක් නොවූ අතර හෝටල් කොරිඩෝවේ ට්‍රම්ප් සමග ඇවිද යන කිම්ගෙන් මාධ්‍යවේදීන් දෙවරක්ම මේ පැනය අසා සිටියත් ඔහු පිළිතුරු ලබාදීමෙන් වැලකී සිටියා. එහිදී, ඇවිද යන ගමන්ම ට්‍රම්ප් කියා සිටියේ සියල්ල හොඳින් සිදුවන බවයි.

ඉන් අනතුරුව ට්‍රම්ප් සහ කිම් ඇතුළු ඔවුන්ගේ දූත පිරිසේ ප්‍රධානීන් කිහිප දෙනෙකු එක්ව සිදුවූ දෙවැනි සාකච්ඡා වටය හෙවත් ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණා.

ඇමෙරිකානු සාකච්ඡා මේසයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදි කරමින් රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී දෙපසින් සිටි අතර ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක සහ උතුරු කොරියාවට යම් කෝපයක් ඇති කළ ජෝන් බෝල්ටන්ද සාකච්ඡා මේසයේ වුණා.

උතුරු කොරියානු සාකච්ඡා මේසයේ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් මැදි කරමින් ඔහුගේ දකුණත් අගසව් ලෙසින් ප්‍රකට ජෙනරාල් කිම් ජොන්ග්-චෝල් සිටි අතර ඔහු මෙම සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා මීට දින කිහිපයකට පෙර වොෂිංටනය වෙත උතුරු කොරියාව නියෝජනය කරමින් පැමිණි ප්‍රධානියා වෙයි.

එමෙන්ම, උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය රී යොන්ග්-හෝ සහ මීට පෙර එරට විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ සහ දැනට එරට රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවන රී සූ-යොන්ග් ද සාකච්ඡා මේසයට පැමිණ සිටියා.

මෙම සාකච්ජාවෙන් පසු නායකයින් දෙපල අතර ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් කිරීමටයි පියවර ගැණුනේ.

Top