සිය දිවි නසා ගත් බුද්ධි නිලදාරියා ලසන්ත ඝාතනය ගැන ලියූ දේ බොරු

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ බවට ලිපියක් ලියා මීට මාස ගණනාවකට පෙර සියදිවි නසාගත් කෑගල්ලේ බුද්ධි අංශ නිලධාරියා ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ දිනයේ කෑගල්ල ප්‍රදේශයේ ගත කළ බවට ඒ මහතාගේ දුරකථනයට අදාළ වාර්තාවලින් තහවුරු වන බව ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත වාර්තා කළේය.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්ධි අංශ නිලධාරියකු වූ ජයමාන්න යන අය මෙසේ, එම ලිපිය නිවසේ තබා ගෙල වැළලාගෙන මියගොස් තිබිණි. ඔහු ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ බවට ලියන ලද ලිපි‍ෙය් අත් අකුරු ඔහුගේ වුවද දුරකථන වාර්තා අනුව එම ලිපියේ සඳහන් කරුණු පරස්පර විරෝධී බව ද රහස් පොලිසිය අධිකරණයට වාර්තා කරනු ලැබිණි.

මීට අමතරව රහස් පොලිසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණවලින් තවදුරටත් හෙලිකරගන්නා ලැබූ කරුණු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට පැමිණි බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි බුද්ධි අංශ සාමාජිකයන් ඒ මහතාගේ නිවස අසල ගැවසෙමින් සිටි බවට තවදුරටත් පරීක්ෂණවලින් අනාවරණය වන බවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබිණි. එහිදී තවදුරටත් රහස් පොලිසිය සිය පරීක්ෂණවලින් හෙලිකරගන්නා ලද කරුණු අධිකරණය හමුවේ වාර්තා කරමින් කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියේ අයිතිකරුවන් ලෙස සොයාගනු ලැබූ තරුණයන් දෙදෙනා වව්නියාවේ පදිංචිකරුවන් බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර තිබුණේ 2009 ජනවාරි 08 වනදා වන අතර එම තරුණයන් දෙදෙනා එදිනට දින කිහිපයකට පෙර එනම් 2009 ජනවාරි 01දා අනුරාධපුර ප්‍රදේශයේදී යම්කිසිවකු විසින් ඝාතනය කර පුළුස්සා දමා තිබූ බවයි. ඒ අනුව එම කරුණු පරස්පර විරෝධී බව ද රහස් පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

ලසන්ත ඝාතනයේ පරීක්ෂණ පැවැත්වීම යළි ‍රහස් පොලිසිය විසින් ආරම්භ කරන ලද්දේ 2015 මාර්තු මස සිට බවත්, එතැන් සිට මේ වනතෙක් විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ 950ක් සටහන් කරගෙන ඇති අතර එයින් 295ක්ම බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් ලබාගත් ඒවා බව ද වාර්තා කෙරිණි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයේ තිබී සොයාගන්නා ලද ඇඟිලි සලකුණු ත්‍රිපොලි කඳවුරේ සහ අනෙකුත් කඳවුරුවල බුද්ධි සාමාජිකයන්ගේ ඇඟිලි සලකුණු සමඟ සන්සන්දනය කරනු ලැබුව නමුත් ඒවා නොගැලපෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද රහස් පොලිසිය අධිකරණයට වාර්තා කරනු ලැබීය.

මීට අමතරව ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට හෝ ඔත්තු බැලීමට ඒ මහතාගේ මෝටර් රථය පිටුපසින් පැමිණි වාහනවල අංක සම්බන්ධයෙන්ද පරීක්ෂණ තවදුරටත් සිදුවේ.

එම ඝාතනය සම්බන්ධව එකල අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රිපොලි කඳවුරේ සාමාජිකයන් 17 දෙනා යළි නිදහස් කළේ ඇයිදැයි සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය තවදුටත් අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක් වූ දින සිය බිරිඳගේ නිවසේ සිට කාර්යාලය බලා යමින් සිටි මාර්ගයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමට මොරටුව විශ්වවිද්‍යාලයට ලබා දී තිබුණ නමුත් එම දර්ශන තහවුරු කර ගැනීමට අපහසු බව එම විශ්වවිද්‍යාලය මඟින් දැනුම් දී තිබූ නිසා එම දර්ශන “සට්” ආයතනයට ලබා දී නැවත පරීක්ෂා කරවීමට කටයුතු කරන බවද මෙහි දී අධිකරණයට දැනුම් දෙනු ලැබුණි. ඒ අතර ලසන්ත වික්‍රමතුංග මහතා විසින් පාවිච්චි කරනු ලැබූ දැනට අතුරුදන්ව ඇති ජංගම දුරකථනය මෙරටට ගෙන්වා ඇත්තේ 2008 වර්ෂයේ දී බවත් එම දුරකථනය සහ සිම්පත අලෙවි කර ඇත්තේ සොෆ්ට්ලොජික් ආයතනයේ අලෙවි නියෝජිතයන් තිදෙනකුගෙන් එක් අයෙකි. එසේ විකුණූ පුද්ගලයා කවුද යන්න මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවද රහස් පොලිසිය වාර්තා කරමින් කියා සිටියේය. ලසන්ත ඝාතනයට ලක් වූ අවස්ථාවේ ඔහු ලඟ තිබූ කෙටි සටහන් පොත සහ අනෙකුත් ද්‍රව්‍යය ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක වීරසිංහ මහතා විසින් නඩු භාණ්ඩ ලෙස එකල නම් කර තිබී ඇත. එහෙත් පසුව ඒවා අතුරුදන් වී ඇති බවත් නඩු භාණ්ඩ වශයෙන් නම් කරනු ලැබ තිබූ පොලිස් වාර්තා පොතේ අදාළ පිටුව කඩා ඉවත් කර එහි වෙනත් සටහන් ඇතුළත් කර ඇති බවද රහස් පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව පැවැත්වූ වෛද්‍ය පරීක්ෂණයේ මුල් වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ඒ මහතා වෙඩි තබා ඝාතනය කර ඇතිබවයි. එහෙත් ඒ මහතාගේ සිරුර යළි ගොඩගෙන පැවැත්වූ වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඒ මහතාට උල් සහ මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි. එබැවින් මේ පරස්පර විරෝධිතාව සම්බන්ධව මුල් වෛද්‍ය පරීක්ෂණය පැවැති සහයක වෛද්‍යවරු 06 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එහි ප්‍රධාන වෛද්‍ය පරීක්ෂකය‍ාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

ලසන්ත ඝාතනය සම්බන්ධව එවකට ගල්කිස්ස පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් පවත්වනු ලැබූ පරීක්ෂණ වාර්තා විනාශ කර දැමීමට කටයුතු කර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවද ඊයේ රහස් පොලිසිය අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

මේ අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප පිට සිටින හමුදා බුද්ධි අංශ සාජන් මේජර්වරයාද ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

අගතියට පත් පාර්ශව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල එස්. රණගල මහතා පෙනී සිටි අතර ලබන මාර්තු 15 දක්වා නඩු විභාගය කල් තැබිණි. ඉදිරි විමර්ශන වාර්තා එදිනට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *