සුනාමි ව්‍යසනයට අදට වසර 13යි / විනාඩි දෙකක නිහැඩියාවකින් සිහි කරන්නැයි ඉල්ලීමක්

වසර 13කට පෙර එනම් 2004 වසරේ දෙසැම්බර් 26දා ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් 2006 වසරේ සිට අඛණ්ඩව සමරන ‘ජාතික ආරක්ෂිත දිනය’ අද සැමරෙනවා.

2004 දී ඉන්දුනීසියානු මුහුදු කලාපයේ සිදුවූ ප්‍රබල භූකම්පාවක්‌ හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ඉන්දීය සාගරයේ වෙරළාසන්න රටවල් රැසකට මහත් ව්‍යසනයක්‌ ඇතිවූ අතර සුනාමියෙන් ලාංකිකයින් ගණන 35000ක් මරණයට පත් වුණා.
තවත් 5000 ක් මේ දක්වා අතුරුදන්ව සිටිනවා.

2004 වසරේ දෙසැම්බර් 26දා ඇති වූ සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කරමින් අද පෙරවරු  9.26 සිට 9.26 දක්වා නිහඩතාවයක් අනුගමනය කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

ආපදා සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීම, ආපදා වැළැක්වීම, අවම කිරීම හා පූර්ව සූදානම කෙරෙහි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම හා විශේෂයෙන්ම 2004 වසරේ දෙසැම්බර් 26 දා ඇති වූ සුනාමි වැනි ව්‍යසනයට නිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් වන මෙම දිනය ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් 2006 වසරේ දී හදුන්වා දෙනු ලැබුවා.