හිල්ටන් , හයට් හෝටල් පැවරීම ස්ථිරයි / නිවේදනය මෙන්න

හිල්ටන් හෝටලය හා ඉදිවෙමින් පවතින හයට් හෝටලය පුද්ගලික ආයෝජකයින්ට පැවරීමට ගෙන ඇති තීරණය මුදල් අමාත්‍යාංශය විසින් සාධාරණීකරණය කර තිබෙනවා.
මේ ඊට අදාළව පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනයයි.

රජයේ උපායමාර්ගික දේපළ ගණයට අයත් නොවන හිල්ටන් සහ හයට් හෝටල් ව්‍යාපෘති පවරාදීමේ තීරණය ගන්නා ලද්දේ අමාත්‍ය මණ්ඩලය විසිනි. එය වාර්ෂික අයවැය කථා කීපයකදී ද යෝජනා කර ඇත.

හයට් හෝටලයේ ඉදිකිරීම් කටයුතු අඩක් පමණ දැනට නිමකර ඇති අතර එහි වියදම දරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් වන අර්ථසාධක අරමුදල, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා     ලිට්ට්‍රෝ ගෑස් සමාගම විසිනි. ඒ වෙනුවෙන් වියදම්කර ඇති මුදල වන රුපියල් බිලියන 15 සදහා එම හෝටල් ව්‍යාපෘතිය ජනතාවට වගවිය යුතුය. ඉහතකී රාජ්‍ය ආයතන එම ව්‍යාපෘති සම්පූර්ණ කිරීම වෙනුවෙන් තව තවත් විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු වන්නා පමණක් නොව ඒ වෙනුවෙන් බැංකුවලට ඇප සහතික ද ලබාදිය යුතු වන්නේය. දීර්ඝකාලීන ආයෝජනවලින් ප‍්‍රතිලාභ ලැබීමට ඉතා දීර්ඝ කාලයක් ගතවන බැවින් මහජන මුදල්, විශේෂයෙන් අර්ථසාධක අරමුදලේ මුදල්, හෝටල් ව්‍යාපෘති ඉදිකිරීම සදහා නොයෙදවිය යුතුය. මේ හේතුව නිසා හයට් හෝටලයේ ඉදිකිරීම් කටයුතු තවදුරටත් රජයට බරක් නොවන්නට නම් එය සම්පූර්ණ කිරීමට මූල්‍යමය ශක්තියක් ඇති කීර්තිමත් ආයෝජකයෙකුට එම ව්‍යාපෘතිය පැවරීමට සිදුව ඇත.

හිල්ටන් හෝටලය දැනට ලාභ උපයමින් තිබෙන ව්‍යාපෘතියක් වුවත්, අලූතෙන් ආරම්භ වන අනෙකුත් හෝටල් සමඟ ඇතිවන තරඟයට මුහුණදීමට නම් පසුගිය අවුරුදු 30 පුරාවට නවීකරණයකට ලක් නොවූ එහි දැනට පවතින කාමර සියල්ල නවීන පහසුකම් සහිතව අධිශ්‍රේණිගත තත්වයකට පත්කළ යුතුව ඇත. එබඳු නවීකරන ක‍්‍රියාවලියක් සදහා රුපියල් බිලියන 4 වැඩි මුදලක් වියදම් වෙතැයි බලාපොරොත්තු වේ. තවද මෙම හිල්ටන් හෝටල් පරිශ‍්‍රයේ අමතර හෝටල් ගොඩනැගිලි කුළුනක් සදහා අත්තිවාරම් දමා තිබෙන බැවින් හා අක්කර දෙකක පමණ ඉඩම වාණිජ දේපලක් ලෙස නව ආයෝජනයකට යොමු කිරීම හෝ සේවා නිවස්න ව්‍යාපෘතියක් ඉදි කිරීමට යෝග්‍ය ය. රාජ්‍ය ව්‍යවසායක් ලෙස හිල්ටන් හෝටලයට මෙබදු නව ආයෝජනවල යෙදවීමට තරම් මූල්‍ය ශක්තියක් නොමැති බැවින් යම් හෙයකින් එසේ කරන්නේ නම් ඒ වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීම රජය විසින් කළයුතු වේ. එසේ නොවන්නේ නම් ඒ සදහා අධික පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමට සිදුවනු ඇත. මේ කාරණා සැලකිල්ලට ගැනීමේ දි ඉහත දැක්වූ නව ආයෝජන ආරම්භකර ඉදිරියට ගෙනයමින් තව තවත් රැකියා අවස්ථා බිහිකළ හැකි මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයෝජකයෙකුට එකී හෝටලය පවරා දීම සාධාරණ කරුණකි.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ රජයේ භාණ්ඩාගාරය, අර්ථසාධක අරමුදල, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලිට්ට්‍රෝ ගෑස් සමාගමට එකී යෝජිත හෝටල් පැවරුමෙන් ලැබෙන මුදල් මහජන සුභසිද්ධිය සදහා වඩා ප‍්‍රයෝජනවත් කාර්යයන්හි යෙදවීමට හැකිවීමයි. ඊට අමතරව මෙම ක‍්‍රියාවලියේ දී හිල්ටන් හෝටලයේ සේවකයෝ සදහා යම් කොටස් ප‍්‍රමාණයක් ලබාදීමට රජය ඇපකැපවී සිටිති. ඒ පිළිබඳ අවසන් නිගමනයන් ගැනීම සහ උපදෙස් ලබාදීම ඉදිරියේදී සිදුකෙරනු ඇත. එබැවින් විදේශීය හෝ දේශීය නව ආයෝජකයින් මෙම වත්කම් වැඩිදියුණු කිරීමට ආකර්ෂණය කරගැනීමට තීරණය කර ඇත්තේ එකී දේපළවල හිමිකරුවන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද උපරිම යහපත සැලසීම සදහා බව පැහැදිළි කරුණකි.

මෙම හෝටල් පවරාදීමේ ක‍්‍රියාවලියේදී රජය විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමවේදයක් අනුගමනය කරයි. මෙය ආයෝජන ව්‍යාපෘතියක් බැවින් නියමිත කාර්යක්ෂම හා ආයෝජන ඇගයුමක් කිරීමට හැකිවන අයුරින් විස්තරාත්මක තොරතුරු සංදේශයක් අදාළ ආයෝජකයින් වෙත ලබාදීම පළමු කොටම කළයුතු කර්තව්‍යයකි. එබැවින් ජාත්‍යන්තරව තම කාර්යාල පවත්වාගෙන යන හෝටල් ව්‍යාපාති හිමිකම් පවරාදීමේ ව්‍යාපාරවල යෙදී සිටින ස්වාධීන මූල්‍ය උපදේශකයෙකු පත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප‍්‍රතිසම්පාදන කමිටුවක් හරහා යෝජනා ඉල්ලීම් පත‍්‍රිකාවක් නිකුත් කිරීමෙන් පසු සිංගප්පූරුවේ ලිසාඞ් ඒෂියා සමාගම සහ ලංකාවේ එම්ටීඅයි උපදේශක සමාගම, අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු, ඉහත කී ව්‍යාපෘතියේ මූල්‍ය උපදේශකයින් ලෙස තෝරාගෙන ඇත. ඉහත කී යෝජනා ඉල්ලීම් පත‍්‍රයට ප‍්‍රතිචාර දක්වා තිබූ දේශීය හා විදේශීය මූල්‍ය උපදේශක සමාගම් 16 අතරින් මෙම සිංගප්පූරු හා ලංකා සමාගම් දෙක තෝරාගෙන ඇත.

ඉන්පසුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවක් ඉහත කී පැවරුම් ක‍්‍රියාදාමය පරීක්ෂා කිරීමට පත්කෙරෙනු ඇත. මූල්‍ය උපදේශකයින් සහ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සදහාවූ ජාතික ආයතනය එම කමිටුවට සහාය වේ. මෙකී ක‍්‍රියාදාමයේ පළමු පියවර වන්නේ කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලියවිලි කැදවීමයි. මෙය හුදෙක් ලංසු තබන පාර්ශවය කවුරුන්දැයි හඳුනා ගැනීම සදහා සිදුකෙරේ. කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලිපි දැන්වීම් පළවු පසු ඒ හරහා ව්‍යාපෘතියට කැමැති පාර්ශවයන් ඔවුන්ගේ ව්‍යාපාරය කුමන ආකාරයේ ද, මූල්‍ය ශක්තිය හා මිලදී ගැනීීමට කැමැත්තක් ඇත්තේ කුමන හෝටලේ වත්කම් ද යන්න දැන්විය යුතුය. එවිට ඔවුන් මූල්‍ය උපදේශකයින් සම්බන්ධකරගත් පසු තනි පිටු ආකෘතියක සැකසු ඉල්ලූම්පතක් ඔවුන්ගේ මූලික තොරතුරු ඇතුලත්කර එවීම සඳහා ඔවුන් වෙත යවනු ලැබේ. එවිට අදාල හෝටලය සම්බන්ධ රහස්‍ය නොවන තොරතුරු ඔවුන් වෙත ලබාදෙනු ඇත. පසුව අදාල ආයෝජකයාට එම තනි පිටුවේ ඉල්ලූම් පත සම්පූර්ණකර එවීම සදහා තවදුරටත් කාලය අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ඉල්ලීම් කිරීමට කාලය ලබාදේ. එබැවින් කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ ලිපි එවීමට මුදලින් ලංසු තැබීමක් අවශ්‍ය නොවේ.

මේ අතර ලිසාඞ් සහ එම්ටීඅයි සමාගම් ඔවුන්ගේ ජාත්‍යන්තර කාර්යාල හරහා රටවල් කීපයකම සිටින ජාත්‍යන්තර දේපළ වෙළදාම් ආයෝජකයින් හා මේ සම්බන්ධව දැනටමත් සාකච්ඡා ආරම්භකර තිබේ.

මේ ආකාරයට කටුයුතු කෙරෙමින් ඇත්තේ මක්නිසාද යන්න විස්තර කරනවා නම් මේ හෝටල් දෙකම පාලනය කරනු ලබන්නේ හිල්ටන් හා හයට් හෝටල් කළමනාකරණ සමාගම්වල කළමනාකරණ ගිවිසුම් මගින් බැවිනි. තවද මේ ගිවිසුම්වල රහස්‍යතා වගන්ති  තිබෙන බැවින් හා ඒවා හෝටල් හිමිකාර සමාගම්වලට වාණිජමය වශයෙන් සංවේදී තොරතුරු නිකුත්කිරීමට අවහිරතා ඇතිකර ඇති බැවිනි.

මේ කාරණාව නිසාවෙන් කැමැත්ත ප‍්‍රකාශ කරන පාර්ශවයන් ප‍්‍රථමයෙන් ලැයිස්තුගත කර ඉන්පසුව එබඳු සංවේදී තොරතුරු හෙළි නොකිරීමේ හා රහස්‍යභාවයේ ගිවිසුමක් අත්සන් කිරීමට සලස්වනු ලැබේ. කැමැත්ත ප‍්‍රකාශ කළ ආයෝජකයිනට (තැරැව්කරුවන්ට නොවේ) පිටු 100 ක විස්තරාත්මක මූල්‍ය තොරතුරු හා අනෙකුත් විස්තර ලබාදෙ දී පසුව ආරක්ෂක පාලක දත්ත ගබඩාවට ප‍්‍රවේශවීමට ඉඩලබා දේ. අදාළ අමාත්‍ය මණ්ඩල කමිටුවේ සුපරික්ෂාව යටතේ විනිවිදභාවයෙන් යුත් ලංසු තැබීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මේ අනුව තම මූල්‍ය ලංසු හා ඒවා සදහා කොන්දේසි සකස්කර ගැනීම සදහා මාස කීපයක ප‍්‍රමාණවත් කාලසීමාවක් නියමිත ආයෝජකයින්ට ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *