You are here
Home > ආසන්න-පුවත් > හෙළ ගී මිහිර රසදුන් අයිවෝ ඩෙනිස් නික්මෙයි

හෙළ ගී මිහිර රසදුන් අයිවෝ ඩෙනිස් නික්මෙයි

ප්‍රවීණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.ඒ මහතා මිය යන විට 86 වන වියේ පසුවුණා.
මේ ඒ වෙනුවෙන් ලංකා ඒ නිවුස් තබන සටහනක්.

ඒ පනහ දශකයේ මුල භාගයයි. සුනිල් ශාන්තයන්
බම්බලපිටියේ නවාතැන්ගෙන සිටි කාලයේ එක්‌ උදෑසනක
ඔහු දිය නාමින් සිටියේය.

වරෙන් හීන් සැරේ…….

වරෙන් හීන් සැරේ…… රිදී වළාවේ…….

අනේ හෙමින් හෙමින්

ඇඳී යන්න වළාවේ……….

සිසිල් පවන් බිබී කිරා වැටී

සිහින ලොවේ අඩ නින්දේ

අඳුරු වළාවේ………

තම ගීය ගුවනින් ප්‍රචාරය වන අයුරු ඔහුට ඇසිණි. ඒත් එකවරම සුනිල් ශාන්තයන් දිය නෑම මඳකට නතර කළේය. යළි ගීයට සවන් දුන්නේය. ගායනයේ තැනක්‌ දෙකක්‌ අඩුපාඩු සහිතය. හොඳින් ගීයට ඇහුම්කන් දුන්නේය. මේ නම් තමන්ගේ හඬ නොවේ යෑයි සුනිල් ශාන්තට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ ගීතය ගැයුවේ සීදූවේ අයිවෝ ඩෙනිස්‌…… යෑයි ගීය අවසන නිවේදකයා සඳහන් කළේය. වැඩ සටහන “ආධුනික පැයයි”

තම හඬට ආසන්න හඬකින් මේ ගීය ගැයූ ආධුනිකයා දැක ගැනීමට සුනිල් ශාන්තයන්ට අවශ්‍ය විය. ඔහු තම සිසුවෙකු කැඳවීය. සිසුවා අන් කවරෙකුවත් නොව පැටි්‍රක්‌ දෙනිපිටියයි. තම ගීය ගැයූ නවකයා සොයා ගැනීමේ කාර්යය සුනිල් ශාන්ත ප්‍රැට්‌්‍රක්‌ දෙනිපිටියට පැවරුවේය.

දින කිහිපයකට පසු පැටි්‍රක්‌ ඔහු කැඳවා ගෙන ආවේය. තොරතුරු අසා දැනගත් සුනිල් ශාන්තයෝ අයිවෝ ඩෙනිස්‌ නම් ආධුනිකයා තම පංතියට ඇතුළත් කර ගත්තේය. අයිවෝ…. සුනිල් ශාන්තයන් සෙවනේ ශිල්ප හදාරන්නට පටන් ගත්තේය. කෙටි කලකට පසු ඒ සෙවනේම සිටි සුධර්මන් සිල්වා ලියූ ගී වැලකට සුනිලුත් සංගීතය සහ තනුව නිර්මාණය කළේය. ගැයුම් පැවරුවේ අයිවෝ ඩෙනිස්‌ටය.

කුරුළු පරාදීසයේ
කුරුළු සිහින සාගරේ
ඔබ හා විසුමට එන්නෙමි
කුරුළු සුරපුරේ…….

ගැයූ පළමු ගීයෙන්ම අයිවෝ ඩෙනිස්‌ යන නාමය ජනප්‍රසාදයට පත්වීය. සුනිල් ශාන්තයන්ද අයිවෝට ප්‍රසාදය පළ කළේය.

ආචාර්ය ලෙස්‌ටර් ජේමිස්‌ පිරිස්‌ගේ රේඛාව සහ සංදේශය චිත්‍රපට දෙකේ ගී තනු නිර්මාණය කළේද සුනිල් ශාන්තය.

ඒ ගී තනු තැටිගත කිරීම සඳහා ඉන්දියාවට ගෙන ගියේත්, නැවත ගෙන ආවේත් අයිවෝය. ඔහු සිය පළමු සිනමාගීය ගැයුවේද රේඛාවටය. ඒ මර්සලිනු ජයකොඩි පියතුමා ලියූ අනුරපුර පොළොන්නරුව…….. ගීයයි.

අයිවෝ ඩෙනිස්‌ට ගුරු පත්වීමක්‌ ලැබ රත්නපුර, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා වන ඔහු එවක රජයේ ප්‍රධාන සංගීත පරීක්‍ෂක ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ සිත දිනාගනිමින් “හෙළ මිහිර” ගායන වෘන්දයේ මූලිකයා බවටද පත්විය. වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහන බැද්දගේ වැන්නෝ “හෙළ මිහිරේ” අයිවෝගේ සමකාලිනයන් වූහ. මකුලොලුව විසින් කරළියට ගෙන ආ “දෙපානෝ” නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟමින් අයිවෝ සිය රඟපෑමේ හැකියාවද පෙන්නුම් කළේය. ඉන් පසු සතිස්‌චන්ද්‍ර එදිරිසිංහගේ “තහංචි” ගීත නාටකයේද ප්‍රධාන නළුවා විය.

ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ගීපද පෙළකට තනුව සහ සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ගීත ගයන්න පැවරුණේ ටී. එම්. ජයරත්නටය. එහෙත් ඒ ගීයට තවත් ගැඹුරු හඬක අවැසිතාව මතුවිය. ටී. එම්. ජයරත්නයන් ඒ සඳහා කේමදාසයන්ට හඳුන්වා දුන්නේ අයිවෝ ඩෙනිස්‌වය.

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන

ගයන ගීතිකා යදින යාතිකා

දෙවියන්හට නෑසේ……//

පොළොව කොටන තැන – පාර තනන තැන

ගිනියම් අව්වේ මහවරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ//

බලන් කඩතුරා හැර දෑසේ….

ටී. එම්. ජයරත්න සමග ඒ ගීය ගැයු අයිවෝ ඩෙනිස්‌ට තවත් චිත්‍රපට ගීයක ගැයීමට වරම් ලැබිණි.

උදුම්බරා….. හිනැහෙනවා…… ටී. එම්. ජයරත්න සුනිලා අබේසේකර සමග අයිවෝ ඒ ගීය ගැයූ අතර “හිම කතරට” ගැයූ ගීය වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානද හිමි විය. කේමදාසයන්ගේ “පිරිනිවන් මංගල්ලය” “මානසවිල” කැන්ටටාවේද ඔහුගේ හඬ ඇතුළත්ය.

Top