ළමා රක්ෂක අධිකාරියේ පත්වීම් ගැන සැකයක් / අගමැතිට ලිපියක්

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරී 3වන ශ්‍රේණිය සදහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වූවන් වෙනුවට වෙනත් පිරිසක් ඒ සදහා බඳවා ගැනීමට යන බවට බලවත් සැකයක් මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරන මන්ත්‍රීවරයා පවසන්නේ මීට අදාළව සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වූවන් විසින් සැක පහළ කර ඇති බවයි.
මේ සදහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගත් 116 දෙනකුට පත්වීම් ලබාදෙන බව දැනුම්දී තිබුණද මේ වන විට ඉන් 66 ක් පමණක් බදවා ගන්නා බව දන්වා ඇතැයිද ලිපියේ දැක්වෙනවා.
ඒ අනුව සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වූවන් සිටියදී වෙනත් පිරිසක් ඒ සදහා බදවා ගන්නේ නම් එය යහපාලන කොන්දේසි කඩ කිරීමක් බවයි බිමල් රත්නායක මහතා සිය ලිපියේ දක්වා ඇත්තේ.
ඒ අනුව කඩිනම් අවධානය යොමුකර එම පිරිසට සාධාරණය ඉටු කරන ලෙසටද අගමැතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.