ෆේස් බුක් / ට්විටර් නිසා ලංකාවේ මානසික රෝගීන් වැඩිවෙලා

අන්තර්ජාලයට අධික ලෙස ඇබ්බැහිවීම ශ්‍රී ලංකාවේ විශාදය වැනි රෝග රැසකට හේතුවක් බව මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මිය පවසනවා. ඇය මේ බව කියා සිටියේ ඔක්තෝබර් මස 10 වනදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පිළිබද දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙවර එම දිනයේ තේමාව වී ඇත්තේ වෙනස්වන ලෝකයක තරුණ පරපුර සහ මානසික සෞඛ්‍යය යන්නයි.ෆේස්බුක්,ටුවිටර් වැනි සමාජ මාධ්‍ය,අන්තර්ජාල හා විද්‍යුත් මාධ්‍ය අවභාවිතය නිසා අද වන විට අන්තර් පුද්ගල සම්බන්ධතා ගිලිහී ඇති බවත් එයද මානසික රෝගීන් වර්ධනය කරන්නක් බවට පත්ව ඇති බවත් වෛද්‍යවරිය කියා සිටියා.
මෙහිදී අදහස් දැක්වූ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය  කියා සිටියේ මුළු ලෝකයේම ජනගහණයෙන් සියයට 20ක් පමණ දෙනා යම් යම් මානසික ගැ‍ටළු වලට මුහුණ දුන් අය බවයි.

යෞවන වියේදීම පුද්ගලයන්ට ජීවිතය එපා වීම අද විශාල ගැටළුවක් බවට පත් වෙලා. වයස අවු.15-29ත් අතර තරුණයන්ගේ මරණවලට එක් හේතුවක් බවට පත් වී ඇත්තේ සිය දිවි නසා ගැනීම්. බොහෝ රටවල මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය, අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තරුණ ප්‍රජාවට හානිකරන ප්‍රධාන හැසිරීම් රටා බවට පත් වී තිබෙනවා. පාසල් දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම අද වන විට ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා.. ශ්‍රී ලංකාවේ වයස අවු 13-17ත් අතර නව යෞවනයන්ගෙන් 9%ක් සිය දිවි නසා ගැනීමේ සිතිවිල්ලෙන් පසුවන අතර 7%ක් සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා හෙළිකරන්නේ.